විශේෂාංග

30% වට්ටමකින් ලැබෙන පාසල් අභ්‍යාස පොත්

ලබන වසර සදහා අවශ්‍ය පාසල් අභ්‍යාස පොත් 30 % ක වට්ටමක් මත ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයකට එක්වෙමින් සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ, අදාළ තොරතුරු ලබාදෙන ලෙස පාසල් වෙත චක්‍රලේඛයක්ද නිකුත් කිරීමට කටයුතු කරන බවයි.

ලබන වසරවන විට පාසල්වල හයෙන් ඉහළ ශ්‍රේණි ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන්ද අධ්‍යාපන අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළා.

මේ අතර, ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන් වැනි ශ්‍රේණියේ පවතින පුරප්පාඩු පිරවීම සඳහාවූ නව පත්වීම් පිරිනැමීමට එරෙහිව ගොනු කර තිබූ රිට් පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා.

එහිදී අදාළ පෙත්සම සම්බන්ධයෙන් වග උත්තරකරුවන් මතු කළ මූලික විරෝධතා සලකා බැලීමෙන් පසු සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල මෙම තීන්දුව ලබාදුන් බව සඳහන්.

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන් වැනි ශ්‍රේණිය සඳහා පත්වීමට තමන්ටද සුදුකම් ඇති බව සඳහන් කරමින් ගාමිණී සුබසිංහ, M.I.M මන්සි, W.H.R ප්‍රනාන්දු මහතා යන අය විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණා.

එහි වගඋත්තරකරුවන් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා, අධ්‍යාපන අමාත්‍යවරයා සහ නීතිපතිවරයා නම් කර තිබු බවයි වාර්තාවන්නේ.

එමෙන්ම ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ ඇති පුරප්පාඩු 4718ක් පිරවීම සඳහා 2019 වසරේ පැවැත්වූ තරග විභාගයෙන් සමත්වූවන්ට පත්වීම් ලබා දෙන ලෙස ඉකුත් සැප්තැම්බර් 27 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට නියම කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button