දේශීය

ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණයට සමාගම් 3ක්

ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගකරණය සඳහා සමාගම් 3ක් ඉදිරිපත්ව සිටින බව වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ, ඉන් සමාගම් 2ක් විදේශීය සමාගම් වන බවත් සෙසු සමාගම දේශීය සමාගමක් බව​යි.

ඉන් එක් සමාගමක් තෝරා ගෙන ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණයට පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළා.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසන්නේ, ඉදිරිපත්ව ඇති සමාගම්වල තත්ත්වය අධ්‍යනය කර සුදුසු සමාගමක් තෝරාගැනීම මේ වනවිට ටෙන්ඩර් මණ්ඩලය මගින් ක්‍රියාත්මක බවයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ආයෝජනය සඳහා ලංසු ඉදිරිපත් කිරීමට ලබාදී තිබූ කාලය පසුගිය මාර්තු 05 වැනි දා අවසන් වූ අතර එය තවත් දින 45කින් දීර්ඝ කිරීමට වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කටයුතු කළා.

මේ අතර අමාත්‍යවරයා පැවසුවේ, සමාගමට නව ආයෝජකයෙකු සොයා ගැනීම සඳහා ඩොලර් බිලියන 1.2 ක් පමණ වන ණය ප්‍රමාණය අඩු කිරීමේ අවශ්‍යතාවය ගනුදෙනුවට අදාළව උපදෙස් දෙන ලෝක බැංකුවේ ආයෝජන උපදේශන ආයතනය වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව හෙවත් IFC ආයතනය උපදෙස්දී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button