දේශීය

23වන ඉන්දියානු සාගර කලාපීය සංගමයේ සංවාදය මෙරටදී

23වන ඉන්දියානු සාගර කලාපීය සංගමයේ අමාත්‍ය මණ්ඩල සංවාදය මෙරටදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඔක්තෝබර් 11 වනදා මෙම සංවාදය පැවැත්වීමට නියමිත අතර, ඊට සහභාගී වීම සඳහා විදෙස් නියෝජිතයින් එළඹෙන සතියේදී මෙරටට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළා.

බංගලාදේශය, ඉන්දියාව, ඉරානය, මොරිෂස්, මැලේසියාව සහ දකුණු අප්‍රිකාව යන රටවල විදේශ අමාත්‍යවරුන් ඇතුළු අමාත්‍යවරුන් 16 දෙනෙකු සහ ඔස්ට්‍රේලියාව, කොමරෝස්, ප්‍රංශය, ඉන්දුනීසියාව, කෙන්යාව යන රටවල නියෝජිතයින්ද මෙම සංවාදය සඳහා සහභාගී වීමට නියමිතයි.

එහිදි ඉන්දියානු සාගර කලාපීය සංගමයේ වත්මන් සභාපති ධුරයේ කටයුතු කරන බංග්ලාදේශ විදේශ කටයුතු අමාත්‍යවරයා මෙරට විදේශ අමාත්‍යවරයා වෙත සභාපති ධුරය පිරිනැමීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව, මේ වසරේ සිට 2025 දක්වා කාලය සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියානු සාගර කලාපීය සංගමයේ සභාපතීත්වය දරනු ලබනවා.

වෙළෙඳ හා ආයෝජන, සමුද්‍රීය ආරක්‍ෂාව සහ ආරක්‍ෂාව, ධීවර කළමනාකරණය, ආපදා අවදානම් කළමනාකරණය සහ ආර්ථිකය ඇතුළු සංගමය විසින් හඳුනාගෙන ඇති ප්‍රමුඛතා ක්ෂේත්‍ර හයක් සම්බන්ධයෙන් සහයෝගීතාවයෙන් කටයුතු කළ හැකි ක්‍රම පිළිබඳව මෙවර සංවාදයේදී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

විදෙස් රටවල අමාත්‍යවරුන් සහ නියෝජිතයින් මෙරට රැඳී සිටින කාලය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡාද පැවැත්වීමට නියමිත බව, විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button