2021 ලෝක රූ රැජින කිරුළ පෝලන්තයට

2021 ලෝක රූ රැජින කිරුළ දිනාගැනීමට පෝලන්තයේ කැරලිනා බෙලවුස්කා ඊයේ (17) සමත් වුණා.
ඒ දකුණු අමෙරිකාවේ පොටරිකෝ රාජ්‍යයේ පැවති 70 වන ලෝක රූ රැජින තරගාවලියේ දී.
ඉකුත් වසරේ දෙසැම්බර් 10 වනදා පැවැත්වීමට නියමිතව තිබූ 2021 ලෝක රූ රැජින තරගාවලිය ඊයේ දිනය තෙක් කල් දැමීමට සිදුව තිබුණේ කොවිඩ් වසංගත අවදානම හේතුවෙන්.
ඒ අනුව පෝටරිකෝ රාජ්‍යයේ සැන් ජුවන් නගරයේ දී පැවති මෙම තරගාවලිය සඳහා රටවල් 97 කින් රූ රැජිනියන් එක්ව සිටියා.
මෙවර කිරුළ දිනාගත් කැරලිනා බෙලවුස්කාට රූ රැජින කිරුළ පැළදවූයේ පසුගිය වසරේ ලෝක රූ රැජන බවට පත්වූ ජැමෙයිකාවේ ටෝනි ඈන් සිං විසින්
23 හැවිරිදි වියේ පසුවන මෙවර කිරුළ දිනාගත් කැරොලිනා කළමනාකරණ පශ්චාත් උපාධිය හදාරමින් සිටින අතර නිරූපිකාවක් ලෙසත් කටයුතු කරමින් සිටිනවා.
මෙවර ලෝක රූ රැජින තරගාවලියේ පළමු අනුශූරතාව ඇමරිකාවේ ශ්‍රී සයිනි හිමිකරගත්තා.
ඉන්දියානු සම්භවයක් සහිත ඇය මේ වනවිට 26 වැනි වියෙහි පසු වනවා.
මෙහි දෙවන අනුශූරතාව හිමිවුණේ අයිවරි කෝස්ට්හී ඔලීවිය යාකේ හටයි.