ඊශ්‍රායලය ඉල්ලන 230ට පලස්තීනුවන් 11,000ක්

හමාස් සටන්කරුවන් විසින් පසුගිය ඔක්තෝබර් 07 වනදා ගාසා තීරය ආසන්නයේ පිහිටි ඊශ්‍රායල ගම්මාන වලට පැන 230 දෙනෙක් පමණ පැහැරගැනීමට කටයුතු කර තිබුණා.
ඉන් සිව් දෙනෙක් මේ වනවිට නිදහස් කර ඇති අතර ඊශ්‍රායල හමුදාව ඊයේ නිවේදනය කළේ, පැහැර ගත් හමුදා සෙබළියක්ව ඔවුන් විසින් බේරාගත් බවයි.
මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, හමාස් සංවිධානය ප්‍රාණ ඇපයට තබාගෙන සිටින දරුවන්, වැඩිහිටියන් සහ තරුණ පිරිස් ගාසා තීරයේ පොළොව අභ්‍යන්තරයේ මකුළු දැලක් ලෙස නිර්මාණය කර ඇති උමංවල සඟවා ඇති බවයි.
ඔවුන් එම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳහා දැනට ඊශ්‍රායල භාරයේ සිටින පලස්තීන සිරකරුවන්ව නිදහස් කරන ලෙස බලපෑම් කිරීමට ඉඩ ඇති බව සඳහන්වනවා.
පලස්තීන සිරකරුවන් ඔක්තෝබර් 05 වනදාවනවිට පලස්තීනුවන් 5,192ක් ඊශ්‍රායලයේ සිරගෙවල් වල රඳවා සිටින බවයි වාර්තාවන්නේ.
ඉන් 2,410ක් දඬුවම් ලැබූ අයවන අතර 1,463ක් රිමාන්ඩ් භාරයේ සිටින බවත් තවත් 1,319ක් නඩු විභාගයකින් තොරව රඳවාගෙන සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
නමුත් ඔක්තෝබර් 07 වනදා ප්‍රහාරයෙන් අනතුරුව ඊශ්‍රායල හමුදා පලස්තීනුවන්ව අත්අඩංගුවට ගනිමින් සිටින බවයි වාර්තාවන්නේ.
එමෙන්ම බටහිර ඉවුරෙන් 1,680ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඊශ්‍රායලයට ගොස් වැඩ කිරීමට බලපත්‍ර හිමි 4,000ක් පමණද මේ වනවිට ඊශ්‍රායලය තුළ රඳවාගෙන සිටින බව ඔවුන් පවසනවා.
ඒ අනුව ඇස්තමේන්තු කර තිබෙන්නේ, එරට තුළ රඳවාගෙන සිටින මුළු පලස්තීනුවන් ගණන 11,000කට ආසන්න බවයි.
ඊශ්‍රායල හමුදාව ඊයේ (30) පැවසුවේ, ඔක්තෝබර් 07 වනදායින් පසුව බටහිර ඉවුරේදී හමාස් සාමාජිකයින් 700ක් පමණ අල්ලාගත් බවයි.
අතීතයේදීද ප්‍රාණ ඇපකරුවන් වෙනුවෙන් සිය භාරයේ සිටින පලස්තීන සටන්කාමීන්ව සහ ලෙබනනයේ හිස්බුල්ලා සාමාජිකයින්ව හුවමාරු කරගැනීමට ඊශ්‍රායල බලධාරීන් කටයුතු කර තිබුණා.
ඉන් වඩාත්ම කථාබහට ලක්වූ සිද්ධිය වූයේ හමාස් සටන්කාමීන් විසින් 2006 සිට 2011 දක්වා ගාසා තීරයේ සඟවා ගෙන සිටි ඊශ්‍රායල සෙබළ ගිලාඩ් ෂලිට් වෙනුවෙන් පලස්තීන සිරකරුවන් 1,027ක් නිදහස් කිරීමයි.
ඉන් සමහර පලස්තීනුවන් ඊශ්‍රායල ජාතිකයින් 600කගේ පමණ මරණ වලට වගකිවයුතු අය ලෙස හඳුනාගෙන තිබුණා.
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, මේ වනවිට ගාසා තීරයේ හමාස් නායකයා ලෙස සැලකෙන යහියා සින්වාර්ද එසේ නිදහස ලැබූ අයෙක් බවයි.