දේශීය

විමල් අසනීප වෙලා – නඩුවට දින දෙ​යි

ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු එම පක්ෂයේ සාමාජිකයින් 06 කට එරෙහි​ව නඩුවේ සාක්ෂි විභාගය සැප්තැම්බර් මස 30 වන දින සිදු කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (15) දින නියම කළා.

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් විමල් වීරවංශ මහතා ඇතුළු එම පක්ෂයේ සාමාජිකයින් උද්ඝෝෂණය​ක නිරතවීම හේතුවෙ​න් ඔහු​ට චෝදනා එල්ල වී තිබුණා.

විම​ල් වීරවංශ මහතා අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් අද දින අධිකරණයේ පෙනී නොසිටින බවට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් පසුව නඩු විභාගය කල්තැබුවා.

2016 පෙබරවාරි 6 වැනි දිනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු ලංකාවට පැමිණීමට විරෝධය පළ කරමින් එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට,තුම්මුල්ල ඇතුළු මාර්ග අවහිර වන අන්දමේ උද්ඝෝෂණයක නියැළීමට එරෙහිව මෙම නඩුව කුරුඳුවත්ත පොලිසිය මගින් පවරා තිබුණා.

මංමාවත් පනත යටතේ හා පොලිස්  ආඥා පනත යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදුකිරීමට එරෙහිව පැමිණිල්ල ගොනුකර ඇති අතර දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සාක්ෂි විභාගයත් කල් තබමින් නඩුවේ සාක්ෂිකාර විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත  පනාමල්දෙනිය මහතාට එදින අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වා සිටියා.

‍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button