ලොරි රථයක රෝදයේ හුළං යැවූ පොලිස් සැරයන්ට වැඩ වරදියි

වත්තල, මාබෝල ප්‍රදේශයේ බහාලුම් අංගනයකට යාම සඳහා පැමිණි ලොරි රථයක් රියදුරු නොමැතිව මාර්ගයේ නවතා තැබීම හේතුවෙන් රථවාහන රාජකාරියේ නිරත පොලිස් සැරයන්වරයෙකු එහි ඉදිරිපස රෝදයේ හුළං යවන රූපරාමු පෙළක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.
එම පොලිස් නිලධාරියා එහිදී පවසන්නේ මාර්ගයේ ගමනාගමනයට බාධාවීම හේතුවෙන් එලෙස හුළං යැවූ බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඒ මොහොතේ එම ස්ථානයේ සිටි පිරිසකගෙන් ද විරෝධයක් එල්ල වී තිබුණා.
කෙසේ වෙතත් අදාළ ස්ථානයට පැමිණෙන ලොරි රථයේ රියදුරු පවසා ඇත්තේ, ලියකියවිලි භාරදීම සඳහා තමන් බහාලුම් අංගනයට ගිය බවයි.
ඒ අතරතුරදී මෙම පොලිස් නිලධාරියා ලොරි රථයේ රියදුරුට දඩ කොළයක් ලබාදී එම ස්ථානයෙන් පිටව ගොස් තිබුණා.
කෙසේවෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පවසන්නේ අදාළ පොලිස් නිලධාරියා සිදුකරන ලද එම ක්‍රියාව සම්පූර්ණයෙන්ම අනීතික ක්‍රියාවක් බවත් මෙවැනි වරදක් සඳහා දඩ මුදලක් පමණක් පැනවිය හැකි බවයි.
මෙවැනි නිලධාරීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම අපකීර්තියට පත්වන බැවින් ඔහුට විරුද්ධව දැඩි විනය පියවර ගැනීමට නියමිත බවත් පොලීසිය පවසනවා.
ඒ අනුව අදාළ නිලධාරියාව විනය පරීක්ෂණයක් සඳහා අද දිනයේදී පොලිස් රථ වාහන කොට්ඨාසයට කැඳවා ඇති බවද වාර්තාවනවා.