ක්‍රීඩා

19 වැනි ආසියානු ක්‍රීඩා උලෙළ අදින් ඇරඹෙයි

19 වැනි ආසියානු ක්‍රීඩා උලෙළ චීනයේ හැංජොහිදී අද (23) ආරම්භ වනවා.

එහි සමාරම්භක උත්සවය පැවැත්වෙන්නේ, හැංජෝ ඔලිම්පික් ක්‍රීඩාංගණයේදියි. 

19 වැනි ආසියානු ක්‍රීඩා උලෙළ චීනයේ හැංජොහිදී ඉකුත් වසරේ පැවැත්වීමට නියමිතව තිබුණද කොවිඩ් වෛරසය යළි එරට ප්‍රදේශ කිහිපයක ව්‍යාප්ත වීමත් සමඟ ක්‍රීඩා උලෙළ මෙම වසරට කල්දැමීමට සංවිධායකයෝ තීරණය කර තිබෙනවා.

චීනය ආසියානු ක්‍රීඩා උලෙළක් සඳහා සත්කාරකත්වය ලබාදෙන තුන් වැනි අවස්ථාව මෙය වනවා.

සමාරම්භක උත්සවය ක්‍රීඩා උලෙළේ ප්‍රධානතම ක්‍රීඩාංගණය වන හැංජෝ ඔලිම්පික් ක්‍රීඩාංගණයේදී අද පැවැත්වීමට නියමිත අතර, සමාප්ති උත්සවයද ප්‍රේක්ෂකයන් 80,000කට අසුන්ගත හැකි එම ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

‘බිග් ලෝටස්’ ලෙසින්ද හඳුන්වන හංජෝ ඔලිම්පික් ක්‍රීඩාංගණයේ අද පැවැත්වෙන සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස චීන ජනාධිපති ෂී ජින් පින්ග් සහභාගිවීමට නියමිතයි.

මෙවර ආසියානු ක්‍රීඩා උලෙළට රටවල් 45ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12,500කට අධික සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිත බව වාර්තා කර තිබෙනවා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියයකට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිතව ඇති අතර, ඔවුන් ක්‍රීඩා 21ක් වෙනුවෙන් තරග බිමට පිවිසීමට නියමිතයි.

මෙවර ආසියානු ක්‍රීඩා උලෙළේ සමාරම්භක උත්සවයේදී ජාතික ධජය රැගනෙ යාමේ අවස්ථාව හිමිව තිබෙන්නේ, මලල ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්නටයි.

ඔලිම්පික් ක්‍රීඩා උලෙළට පසු පැවැත්වෙන දැවැන්තම ක්‍රීඩා උලෙළ වන ආසියානු ක්‍රීඩා උලෙළ අද සිට දින 16ක් පුරා පැවැත්වෙන අතර, තරග ස්ථාන 54කදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ අතර, ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටයේ තරග හෙට (24) ආරම්භ වෙනවා.

එහි පළමු තරඟය ඉන්දීය කාන්තා කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

දෙවැනි තරඟය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ පාකිස්තාන කාන්තා කණ්ඩායම අතර මෙරට වේලාවෙන් හෙට පෙරවරු 11.30ට ආරම්භ වීමට නියමිත බව සඳහන්.

මෙම තරඟ දෙකෙන් ජය ගන්නා කණ්ඩායම ලබන 25 වන දා පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button