දේශීය

ලංකාව ලොව ඉහළම ආහාර උද්ධමනයක් සහිත රටවල් අතරට

ශ්‍රී ලංකාව ලොව ඉහළම ආහාර උද්ධමනයක් සහිත රටවල් අතර හයවන ස්ථානයට පත්ව තිබෙනවා.

ඒ ලෝක බැංකුව විසින් ලොව ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් මෙම නොවැම්බර් මාසයට අදාළව නිකුත් කරන ලද නවතම වාර්තාවට අනුවයි.

එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය සියයට 86ක්. ලොව දරුණුම ආහාර උද්ධමනය සහිත රට වන්නේ සිම්බාබ්වේ වන අතර එහි උද්ධමන අගය සියයට 321ක්. ලෙබනනය සහ වෙනිසියුලාවේ ද ආහාර උද්ධමනය සියයට සියය ඉක්මවා ඇති අතර එම අගයන් පිළිවෙළින් සියයට 208ක් සහ සියයට 158ක්.

මෙම රටවල් තුනට අමතරව ශ්‍රී ලංකාවට වඩා වැඩි ආහාර උද්ධමනයක් සහිත රටවල් ලෙස ශ්‍රේණිගත කර ඇත්තේ තුර්කිය සහ ආර්ජන්ටිනාව වන අතර එම රටවල් දෙකෙහි ආහාර උද්ධමනය සියයට 99ක් සහ 87ක් ලෙස දැක්වෙනවා.

ශ්‍රී ලංකාවට පසුව ලැයිස්තුවේ ස්ථානගත වී ඇත්තේ ඉරානය වන අතර එහි ආහාර උද්ධමනය දැක්වෙන්නේ සියයට 84ක් ලෙසයි.

කෙසේවෙතත් පසුගිය සැප්තැම්බර් මාසයේ නිකුත් කරන ලද ලෝක බැංකු වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය සියයට 91 ක් ලෙස දක්වා තිබූ අතර එහිදී ශ්‍රී ලංකාව ස්ථානගතව තිබුණේ වැඩිම ආහාර උද්ධමනයක් සහිත රටවල් අතර සිව්වන ස්ථානයේයි.

මේ අනුව සැප්තැම්බර් සිට නොවැම්බර් දක්වා ගතවූ කාලසීමාවේ දී ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය සියයට 5 කින් අඩුවී ඇති බවයි අදාළ වාර්තාවේ දැක්වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button