ක්‍රීඩා

දකුණු අප්‍රිකා කණ්ඩායමට ලකුණු 102 ක ජයක්

ඉන්දියාවේ දිල්ලිහි Arun Jaitley ක්‍රීඩාංගණයේදී අද (07) පැවති එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සිව්වැනි තරගය වන ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයේ ජය ලබා ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.

ඒ, ශ්‍රී ලංකාව ලකුණු 102කින් පරාජය කරමින්.

මෙහිදී ලකුණු 429ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 44යි පන්දු 05ක් අවසානයේ කඩුලු සියල්ල දැවී ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 326ක් පමණයි.

අද පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර ඔවුන් විසින් පළමුව පන්දුවට පහර දීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව, පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 49 ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 428 ක් ලබා ගැනීමට සමත් වුණා.

දකුණු අප්‍රිකානු ඉනිම පළමු කඩුල්ල ලෙස නායක Temba Bavuma ලකුණු 8 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත්වුණා Quinton de Kock ලකුණු 100 Rassie van der Dussen ලකුණු 108, Aiden Markram ලකුණු 106, David Miller ලකුණු 39, Heinrich Klaasen ලකුණු 32 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී දිල්ෂාන් මධුශංක කඩුලු 02 ක් ද, කසුන් රාජිත, මනීෂ පතිරණ, දුනිත් වෙල්ලාලගේ කඩුලු 01 බැගින් දවා ගත්තා.

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය දකුණු අප්‍රිකානු කණ්ඩායම වාර්තා කළා.

ඒ, ලකුණු 429 ක දැවැන්ත ඉලක්කයක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දෙමින්.

ඒ අනුව, පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස පැතුම් නිස්සංක ලකුණු නොලබා දැවී ගිය අතර, කුසල් පෙරේරා ලකුණු 7ක් ලබා සිටියදී දැවී ගියා.

ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩාකළ කුසල් මෙන්ඩිස් පන්දු 42කට ලකුණු 76ක් ලබා ගැනීමට සමත් වූ අතර, චරිත් අසලංක පන්දු 65 කට ලකුණු 76 ක් ලබා ලබා ගැනීමට සමත් වුණා.

එමෙන්ම, නායක දසුන් ශානක මෙම තරගයේදී පන්දු 62කට ලකුණු 68 ක් ලබා ගත්තා.

සදීර සමරවික්‍රම ලකුණු 23ක්ද ධනංජය ද සිල්වා ලකුණු 11ක්ද, කසුන් රාජිත ලකුණු 33ක්ද ලබා ගැනිමට සමත් වුණා.

පන්දු යැවීමේදී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ Gerald Coetzee කඩුලු 03ක්ද, Marco Jansen,Keshav Maharaj සහ Kagiso Rabada කඩුලු 02 බැගින්ද, Lungi Ngidi කඩුලු 01 බැගින්ද දවා ගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button