තෙල් කාන්දුවීම් නිසා ශ්‍රී ලංකාව සමුද්‍රීය විපත්වලට ගොදුරුවීමේ දැඩි අවදානමක් – ප්‍රමිත බණ්ඩාර

ඉන්දියානු සාගර වටද්දර සංගමය (Indian Ocean Rim Association) මෙම සාගර කලාපයේ ආපදා අවදානම් කළමනාකරණය ක්‍රියාත්මක කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් සිදුකරන බව, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළා.
ඔහු මේ බව සදහන් කළේ, පසුගියදා (10) කොළඹ ලක්‍ෂ්මන් කදිර්ගාමර් ජාත්‍යන්තර සබඳතා සහ උපායමාර්ගික අධ්‍යයන ආයතනයේ පැවති ආපදා අවදානම් කළමනාකරණය සහ ඉන්දියානු සාගර වටද්දර සංගමයෙහි ජපානයේ කාර්යභාරය පිළිබඳ සම්මන්ත්‍රණයේ ආරම්භක දේශනය පවත්වමින්.
ඉන්දියන් සාගර කලාපයේ කාර්යබහුලම නාවික මාර්ගය ශ්‍රී ලංකාව ආශ්‍රිතව පිහිටා තිබීම හේතුවෙන් තෙල් කාන්දුවීම් නිසා ශ්‍රී ලංකාව සමුද්‍රීය විපත්වලට ගොදුරුවීමේ දැඩි අවදානමක් පවතින බවත්, මේ හේතුවෙන් සමුද්‍රීය පරිසරයට වන අවදානම් කළමනාකරණයට නාවික හමුදාවන් සහ වෙරළාරක්‍ෂක භටයන් අතර සහයෝගීතාවය අත්‍යවශ්‍ය සාධකයක් වන බවත්, රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළා.
දැනුම හුවමාරු කරගැනීම, ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීම, තාක්‍ෂණික හුවමාරු වැඩසටහන්, යටිතල පහසුකම් සංවර්ධනය සහ කලාපීය සංවිධාන සමඟ ක්‍රියාකාරීව සම්බන්ධ වීම හරහා ජපානය ඉන්දියානු සාගර සංගමයෙහි සාමාජික රටවල, ආපදාවන්ට ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීමට සැලකිය යුතු දායකත්වයක් ලබාදී තිබෙන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
ඉන්දියානු සාගර වටද්දර සංගමයෙහි සාමාජික රටවල් සහ හවුල්කරුවන් අතර සහයෝගීතාවය වර්ධනය කිරීම තුළින් ආපදා අවදානම් කළමනාකරණය ක්‍රියාත්මක කිරීමත්, ඉන්දියානු සාගර වටද්දර සංගමයෙහි ආපදා අවදානම් කළමනාකරණය සඳහා වන ජපානයේ නායකත්ව භූමිකාව මෙන්ම, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකාය සඳහා ජපාන වෙරළාරක්‍ෂක බලකාය විසින් දක්වන සහායද අමාත්‍යවරයා විසින් අගය කරනු ලැබුවා.
ලක්‍ෂ්මන් කදිර්ගාමර් ජාත්‍යන්තර සබඳතා සහ උපායමාර්ගික අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ රවිනාත ආර්යසිංහ විසින් මෙම සම්මන්ත්‍රණයේ පිළිගැනීමේ කතාව සිදුකළ අතර, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා අධ්‍යක්‍ෂ සහ උපාය මාර්ගික ඇගයීම් මධ්‍යස්ථානයේ ආරම්භක අධ්‍යක්‍ෂ ආචාර්ය හරින්ද විදානගේ විසින් සාකච්ඡාව මෙහෙයවනු ලැබුවා.