දේශීය

පාස්පෝට් ගන්න අලුත් මාර්ගගත ක්‍රමයක්

පාස්පොට් ලබා ගැනීම සඳහා නව මාර්ගගත ක්‍රමයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ආගමන විගමන වෙබ් අඩවියට පිවිස විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා දිනයක් වෙන් කර ගත හැකි බවයි ආගමන විගමන පාලක ජනරාල් (වැඩබලන) ඩී.එම්.ඩී. නිලූෂා බාලසූරිය මහත්මිය පැවසුවේ.

ඒ අනුව එලැඹෙන 6 වැනි දින සිට නව මාර්ග ගත ක්‍රමය ක්‍රියාත්මක වන බවද ඇය අද  (04) පැවැති මාධ්‍ය හමුවේදී කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිලූෂා බාලසූරිය මහත්මිය :

“එක් දිනයක් ලබාගෙන වෙන් කරවා ගැනීම සිදුකරකොට යම් සීමා සහිත ප්‍රමාණයක් තමයි ටෝකන් ප්‍රමාණයක් ලබා දෙන්න පුළුවන් වෙන්නේ. නමුත් ඒ ප්‍රමාණය අවසන් වුණාට පස්සේ ඉදිරි දිනයක් සඳහාත් ඔබට වෙන් කරවා ගැනීමට පුළුවන්. 

ඒ අනුව ඔබට දවසේ ඕනෑම වෙලාවක, ඕනෑම තැනක ඉඳලා ඕනෑම පුද්ගලයෙකුට මේ වෙබ් අඩවිය හරහා දිනයක් වෙන් කරවා ගැනීමට පුළුවන්. ඒ අනුව නොවැම්බර් මාසේ 6 වැනිදා ඉඳලා මෙම මාර්ගගත ක්‍රමය ක්‍රියාත්මක කරන්න තීරණය කළා. ඒ නිසා නොවැම්බර් මාසේ 6 වැනිදායින් පසුව දිනයක් වෙන් කරවා ගැනීමේ අපේක්ෂාවෙන් පැමිණීමෙන් වළකින ලෙස අපි මහජනතාවට දැනුම් දෙනවා.

ඒ වගේම මේ වෙනකොට නොවැම්බර් මාසේ අග වෙනකන්ම අපි දින ලබා දීලා ඉවරයි. ඒ නිසා දෙසැම්බර් මාසේ මුල් දිනයක ඉඳන් ඔබට දිනයක් වෙන් කර ගැනීමේ හැකියාව පවතිනවා. “

කෙසේවෙතත් අද (04) දිනයේදීත් බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටියා.

ඇණවුම් කර ඇති විදෙස් ගමන් බලපත්‍ර සීමාසහිතව නිකුත් කෙරෙන බැවින් අත්‍යවශ්‍යම කටයුතු වෙනුවෙන් පමණක් ප්‍රමුඛතාව දී ගමන් බලපත්‍ර ගැනීමට පැමිණෙන්නැයි රජය පසුගිය ඔක්තෝබර් 29 වැනිදා ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

නමුත් අද දිනයේත් බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට දිගු පෝලිම්වල ජනතාව රැඳී සිටිනු දක්නට ලැබුණා.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button