දේශීය

චිත්‍රපට සංස්ථාවේ – පදනම් ආයතනයට අලුත් අධ්‍යක්ෂ මණ්ඩල

ජාතික චිත්‍රපට සංස්ථාව නූතන යුගයට සරිලන පරිදි සකස් කළ යුතු බවත්, පෞද්ගලික ආයතන හා සමඟ තරඟකාරිත්වය ජයග්‍රහණය කරමින් ඉදිරියට යායුතු බවත්, බුද්ධ ශාසන ආගමික කටයුතු, ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

ජාතික චිත්‍රපට සංස්ථාවට සහ ශ්‍රී ලංකා පදනම් ආයතනයට අධ්‍යක්ෂ මණ්ඩල පත්කරමින් ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අද (18) පැවැති රැස්වීම් සභාව අමතමින් ඒ මහතා මේ බව කියා සිටියා.

පසුගිය කාලය තුළ චිත්‍රපට නිදහස් කිරීමේදී ඒ සම්බන්ධයෙන් පෞද්ගලික හිතවත්කම් අදාළ වූ බවට චෝදනා තිබූ බවත්, නව අධ්‍යක්ෂ මණ්ඩලය ඒ සම්බන්ධයෙන් මැදිහත්වී සාධාරණව චිත්‍රපට නිදහස් කිරීමේ කටයුතු සිදුකළ යුතු බවයි අමාත්‍යවරයා පවසන්නේ.

2004/2005 කාලය තුළ සිංහල, දෙමළ සහ මුස්ලිම් යන සියලු වර්ග නියෝජනය කරමින් සාමාජිකයන් පත්කිරීමට කටයුතු කළ බවත්, දෙමළ සිනමාව කාර්මාන්තයක් ලෙස මෙරට තුළ ඇති කිරීමට මෙතෙක් හැකිවී නොමැති බවත්,  දෙමළ සිනමාව ඉදිරියේදී මෙරට තුළ කර්මාන්තයක් ලෙස වර්ධනය විය යුතු බවත් අමාත්‍යවරයා පවසනවා.

ශ්‍රී ලංකා පදනම් ආයතනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, ඉකුත් කාලය තුළ පදනම් ආයතනයේ තිබූ දුර්වලතා වළක්වා ගනිමින් වත්මන් නිලධාරීන් පදනම් ආයතනය පාලනය කළ යුතු බවත්, ඍජු තීන්දු තීරණ ගත යුතු බවයි.

ඒ අනුව ජාතික චිත්‍රපට සංස්ථාවේ නව සභාපති  ලෙස ඩබ්ලිව්  ප්‍රින්ස්  සේනාධීර සහ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ  නව සභාපති ලෙස එස් .එම්. සමන් සමරකෝන් යන මහත්වරු  පත්කර තිබෙනවා.

චිත්‍රපටි සංස්ථාවට  අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයන්  ලෙස ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන,  එම් ඩී මහින්දපාල, ඩබ්ලිව්.  ජි.ටිකිර වික්මල් නීතිඥ දක්ෂිකා තිසරංගනී පෙරේරා, එම් එස් ජේ කේ බණ්ඩාර, බී එන් දම්මින්ද කුමාර සහ  වයි. අයි.. ඩී. ගුණවර්ධන  යන මහත්ම මහත්මින් පත්වීම් ලැබුවා.

එමෙන්ම ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සෙසු සාමාජිකයන් ලෙස මහාචාර්ය කේ. එස්. වන්නිආරච්චි , ආචාර්ය ඒ. එම්. එස්. අතපත්තු, ඉංජිනේරු ඩී. එස්. කේ. එස්. ජයලත්, එම්. කේ. ප්‍රසංග චතුරංග, පී.ඩබ්. ඩී. තිසරංගනි පෙරේරා, ජී. එච්. වයි. මංජුල සිරිසෝම, ජෙයචන්ද්‍රමූර්ති රජීවන්,
ආචාර්ය එම්. කේ. ද පැස්කුවෙල්, අයි. ජී. සුලක්ඛනා කුමාරි යන අය පත් කරනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button