දේශීය
ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ඩොලර් මිලියන 19කට වැඩි අතිරේක මුදලක්

ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ඩොලර් මිලියන 19කට වැඩි අතිරේක මුදලක් වෙන් කරන බව අමෙරිකා එක්සත් ජනපදය නිවේදනය කළා.
USAID ආයතනය මේ බව නිවේදනය කළේ, ඊයේ (20) මුදල් අමාත්‍යාංශයේ පැවති උත්සවයකදියි.
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය හෙවත් USAID සහ ශ්‍රී ලංකා රජය අතර ඇති ගිවිසුමකට අනුව ශ්‍රී ලංකාවට හිමිවන අතිරේක මුදල අමෙරිකානු ඩොලර් මිලියන 19.02 ක්.
මීට අදාළ ගිවිසුම අත්සන් කිරීම වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ පැවති උත්සවයට එක් වෙමින්, මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පැවසුවේ, අමෙරිකාව ශ්‍රී ලංකාවට ලබා දෙන අඛණ්ඩ සමීප සහයෝගීතාවය සහ සුහද හවුල්කාරිත්වය මෙරට ජනතාව අගය කරන බවයි.
මෙම අරමුදල් ප්‍රජාතන්ත්‍රවාදී සහ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට රජය දරන උත්සාහයන් ශක්තිමත් කරනු ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.