දේශීය

ජනාධිපතිවරණයට අදාළ මාධ්‍ය උපමාන නිකුත් වෙයි

ජනාධිපතිවරණය සඳහා වන මාධ්‍ය උපමාන මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය ද ප්‍රකාශයට පත්කර ඇති බවයි වාර්තාවන්නේ.

ජනාධිපතිවරණයේ දී ප්‍රවෘත්ති වාර්තා කිරීම්, සෙසු වාර්තා වැඩසටහන්, දේශපාලන වැඩසටහන් සහ ප්‍රචාරණ කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබදව මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙමඟින් දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව මාධ්‍ය උපමාන බලාත්මක කිරීම හා නිර්දේශ ලබාදීම සඳහා නියෝජිත කමිටුවක් පත්කිරීමට නියමිත බව වාර්තා වනවා.

විද්‍යුත් මාධ්‍ය ආයතන, අන්තර්ජාල වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය වෙබ් අඩවි පරිපාලකයින් සඳහා වන මාධ්‍ය උපමාන මෙන්ම මුද්‍රිත මාධ්‍ය සඳහා ද වෙන් වෙන් වශයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් මාධ්‍ය උපමාන ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මේ අතර ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාලය ලබන 09 වන දින මධ්‍යම රාත්‍රී දක්වා දීර්ඝ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

අදාළ කාලය ඊයේ (05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබුණ ද තැපෑලෙන් සිදුවිය හැකි ප්‍රමාද වීම් සහ කොමිෂන් සභාව වෙත සිදුකර තිබූ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

මේ අතර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට ලැබෙන පැමිණිලි කඩිනමින් විමර්ශනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ, දිස්ත්‍රික් මට්ටමින් මෙන්ම ජාතික මට්ටමින් ද ජනාධිපතිවරණය අදාළ පැමිණිලි ලබාගැනීම සඳහා වෙනම ඒකකයක් ස්ථාපිත කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button