දේශීය

කොම්පඤ්ඤවීදිය ගුවන් පාලම ජනතා අයිතියට

කොම්පඤ්ඤවීදිය හා විනිසුරු අක්බාර් මාවත අතර දුම්රිය මාර්ගයට ඉහළින් ඉදිකරන ලද ගුවන් පාලම් ව්‍යාපෘතියේ දෙවන අදියර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (11) විවෘත කෙරුණා.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය මඟින් රුපියල් මිලියන 5278 ක වියදමින් ඉදි කරන ලද මෙම පාලම ඔස්සේ දෛනික දුම්රිය ගමන්වාර 109 ක් සඳහා දුම්රිය ගේට්ටු වසා තැබීම නිසා සිදුවන ප්‍රමාදය හා මාර්ග තදබදය මඟහරවා ගැනීම ඉලක්ක කර ගෙන තිබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මෙහෙයවූ මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සිදු කළේ මාගා ඉංජිනේරු සමාගම (Maga Engineering) විසින්.

රජයේ කාර්යාල, රෝහල්, ආගමික ස්ථාන, ආපනශාලා, චිත්‍රපට ශාලා ඇතුළු විවිධ ආයතනයන්ගෙන් සමන්විත ඉතා කාර්යබහුල වාණිජ නාගරික ප්‍රදේශයක් වන කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි දුම්රිය හරස් මාර්ගය හේතුවෙන් දෛනිකව පැය 3කට ආසන්න කාලයක් අපතේ යන බව නිරීක්ෂණයට ලක්ව තිබුණා.

ඒ අනුව, මෙම ගුවන් පාලම් ව්‍යාපෘතියේ නිමවීමත් සමඟ කොම්පඤ්ඤවීදියේ සිට ගාලුමුවදොර දෙසට හා ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට රථවාහන තදබදයකින් තොරව ගමන් කිරීමේ හැකියාව හිමිවන අතර වාහන තදබදය නිසා නිකරුණේ මහමඟට වැයවු‍ණු ජනතාවගේ කාලය ජාතික ආර්ථිකයට එක්කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති.

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් රූබසිංහ යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button