වැඩට ආපු ගුරුවරුන්ට වැටුප් වැඩිවෙන විදිය මෙන්න

වෘත්තීය සමිති වැඩවර්ජනයට එක් නොවී සේවයට වාර්තා කළ රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිවීම් ලැබෙන අයුරු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (10) පැහැදිලි කළා.
ඉකුත් ජුලි 8 සහ 9 යන දෙදින තුළ සේවයට වාර්තා කළ විධායක නොවන රාජ්‍ය නිලධාරීන්ට විශේෂ වැටුප් වර්ධකයක් ලබාදීමට සහ ඉදිරි උසස්වීම් සඳහා ප්‍රශංසා සහතිකයක් නිකුත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ඊයේ (09) හිමි වුණා.
ඒ අනුව එම දින දෙක තුළ සේවයට වාර්තා කළ 3 වැනි ශ්‍රේණියේ පළමු පංතියේ ගුරුවරයෙකුට රුපියල් 525ක වැටුප් වර්ධකයකුත්, 2 වැනි ශ්‍රේණියේ පළමු පංතියේ ගුරුවරයෙකුට රුපියල් 1335ක වැටුප් වර්ධකයකුත් හා පළමුවැනි ශ්‍රේණියේ ගුරුවරයෙකුට රුපියල් 1630ක වැටුප් වර්ධකයකුත් වශයෙන් ලබා දීම කෙරෙහි කැබිනට් අනුමැතිය හිමි වූ බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන මහතා,
“රාජ්‍ය අංශයේ අනෙකුත් සුළු සේවකයින් හා අනෙකුත් අයටත්, වැඩකරපු සියලුදෙනාටත් මෙවැනි වැටුප් වර්ධකයන් ලැබෙනවා ඇති. භාණ්ඩාගාරයට මුදල් නැත්නම් කොතරම් උද්ඝෝෂණය කරත්, කොතරම් වැඩ වර්ජනය කරත්, කොතරම් සාප කළත්, පොල් ගැහුවත්, දේවාලවලට ගියත් කොහෙන්ද දෙන්නේ ? කවුද දෙන්නේ ?”