ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් පූර්ණ සහය

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය විසින් ගෙනයන ආර්ථික සහ සමාජයීය ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ඉහළින් අගය කළ ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) මහතා ශ්‍රී ලංකාව නව්‍යකරණයේ මාවතකට පිවිසීම සම්බන්ධයෙන් සතුටුවන බව සඳහන් කළා.
එසේම ජනාධිපතිවරයා ආරම්භ කර තිබෙන මෙම වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙන ගියහොත් ශ්‍රී ලංකාවට අපේක්ෂිත ප්‍රතිඵල කඩිනමින් ළඟාකර ගත හැකිවන බව තමා විශ්වාස කරන බවත්, එම ක්‍රියාදාමය සඳහා ලෝක බැංකුවේ පූර්ණ සහයෝගය ලබාදෙන බවත් ලෝක බැංකු සභාපතිවරයා ප්‍රකාශ කළා.
ලෝක බැංකු සභාපතිවරයා මේ බව සඳහන් කළේ, ඊයේ (18) නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) මහතා අතර විශේෂ හමුවක් පැවැත්වු අවස්ථාවේදීයි.
දැනට ශ්‍රී ලංකාව පූර්ණ ආර්ථික ප්‍රතිසංස්කරණ මාවතකට අවතීර්ණ වී ඇති බවත්, ඉහළ ආර්ථික වර්ධන වේගයක් සමඟ ඉදිරි දශකය තුළ රට සම්පූර්ණයෙන් සාමාන්‍ය තත්ත්වයට පත්කර ගැනීම තම අපේක්ෂාව බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.
එසේම රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලිය සංචාරක, කර්මාන්ත සහ ආහාර සුරක්ෂිතතාවය හා කෘෂිකර්ම නවීකරණය යන ක්ෂේත්‍ර මූලික කරගනිමින් ආරම්භ කර ඇති බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සමගම වැවිලි සමාගම් සමඟද සාකච්ඡා කර සාම්ප්‍රදායික අපනයන භෝගද ඇතුළත් ශ්‍රී ලංකාවේ සමස්ත කෘෂිකර්මාන්තයේ නවීකරණ ක්‍රියාදාමයක් සිදු කිරීමට රජය මේ වනවිටත් අවශ්‍ය පියවර ගෙන ඇති බව සඳහන් කරනු ලැබුවා.
ඉන්දු – ලංකා තාක්ෂණික සහයෝගීතාවයේ ප්‍රතිඵලයක් ලෙස තාක්ෂණික විශ්වවිද්‍යාල 4ක් අලුතින් ගොඩනැඟීමටත්, ඊට අමතරව දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීමටත් අවශ්‍ය කටයුතු සිදුකෙරෙමින් පවතින බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
යෝජිත දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය සඳහා ලෝක බැංකුවේ තාක්ෂණික සහාය අපේක්ෂා කරන බවද, හරිත හයිඩ්‍රජන් සහ ඇමෝනියා භාවිතයෙන් විදුලිය නිෂ්පාදනය කිරීම පිළිබඳ ශ්‍රී ලංකාව ශක්‍යතා අධ්‍යයනයක් කරමින් සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කළා.
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, කාන්තා හිංසනය පිටු දැකීම, කාන්තා කොමිසම පිහිටුවීම සහ කාන්තාවන් පිළිබඳ අධ්‍යයන ආයතනයක් පිහිටුවීම ආදී වශයෙන් කාන්තාවන් වෙනුවෙන් නව පනත් 4ක් එළැඹෙන ඔක්තෝබර් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ද ජනාධිපතිවරයා මෙහිදී අනාවරණය කළා.
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක බැංකු සභාපතිවරයාට ආරාධනා කළ අතර, ලෝක බැංකු සභාපතිවරයා විසින් එම ආරාධනාව පිළිගනු ලැබුවා.
සංචාරක කර්මාන්තය ප්‍රමුඛ කරගනිමින් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සඳහා ගෙන ඇති ප්‍රවේශය අවධානමින් අඩු නමුත් ඵලදායීතාවයෙන් වැඩි බව පෙන්වා දුන් ලෝක බැංකු සභාපතිවරයා එය මේ මෙහොතේ ශ්‍රී ලංකාවට වඩාත් ගැළපෙන බව ප්‍රකාශ කළා.
ලෝක නාවික ගමන් මාර්ගයේ කේන්ද්‍රස්ථානයක පිහිටි ශ්‍රී ලංකාව සතු සුවිශේෂී භූගෝලීය පිහිටීමද වෙළෙඳ හා නාවුක කටයුතු මගින් ආර්ථික වාසි ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව සතු වරායන්ද උපයෝගී කරගත හැකි බව ලෝක බැංකු සභාපතිවරයා පෙන්වා දුන්නා.
ලෝක බැංකු සභාපතිවරයා සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණය, සුළං, සූර්යබලය ඇතුළු පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සහ අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා ලෝක බැංකුවේ සහාය ලබදෙන බවද දැනට ආසියානු සංවර්ධන බැංකුව මඟින් ක්‍රියාත්මක ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු කලාපය බලශක්තියෙන් සම්බන්ධ කෙරෙන “බලශක්ති අන්තර් සම්බන්ධතා පද්ධතිය” සඳහා සම්බන්ධ වීමට ලෝක බැංකුව කැමැත්තෙන් පසුවන බවයි.
අධ්‍යාපනය ඇතුළු අනෙකුත් රාජ්‍ය අංශයේ සේවා ඩිජිටල්කරණයට ලක්කිරීම මඟින් ඒවායේ විනිවිදභාවය සහ කාර්යක්ෂමතාවය ඉහළ නැංවිය හැකි අතර, එවැනි පරිවර්තනයන් සිදුකිරීමේදී ගුරුවරුන්ගේද ඇතුළුව විවිධ වෘත්තිය සමිති විසින් ඍජුවම ඊට බාධා එල්ල කිරීමට කටයුතු කරනු ඇති බවත් සඳහන් කළා.
ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ, තමාට වැදගත් දරුවන්ගේ අනාගතය ගොඩනැගීම බවත්, එසේම සෑම ක්ෂේත්‍රයකම විනිවිදභාවය සහ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම තම අරමුණ බවයි.