දේශීය

ඉතිහාසයේ ප්‍රථම වතාවට තරුණ විරුවන් ඇගයීමට ලක්වේ

ප්‍රථම වරට සංවිධානය කරන ලද ජාතික තරුණ විරු සම්මාන ප්‍රදානෝත්සවය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) පැවැත්වුණා.

ඒ කොළඹ පාමංකඩ ජාතික ශිෂ්‍යභට බළකා මූලස්ථානයේදීයි.

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ දූරදර්ශී සංකල්පයක් මත, ජාතික ශිෂ්‍යභට බළකාය මගින් මෙම මෙම ජාතික තරුණ විරු සම්මාන ප්‍රදානෝත්සවය සංවිධානය කරනු ලැබුවා.

 එ​හි ප්‍රධාන අරමුණු වන්නේ, වීරත්වය පිළිබිඹු වන ක්‍රියාවන්හි යෙදුනු තරුණ තරුණියන් හඳුනාගෙන එම වීරවරයන්, වීරවරියන්  ඇගයීමට ලක්කිරීමත්, සමස්ථ තරුණ ප්‍රජාව අභිමානවත් පෞරුෂයකින් හෙබි තරුණ තරුණියන් බවට පත්කිරීමයි.

ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ශිෂ්‍ය භට බළකායට නව ප්‍රවිෂ්ඨයක් ලබාදෙමින් තරුණ විරු දරුවන්ගේ වීරත්වයන් හඳුනාගැනීමේ සහ එම වීර ක්‍රියාවන් නිසි ඇගයීමකට ලක් කිරීමේ අභිමානවත් අරමුණ පෙරදැරිව, ඉතිහාසයේ ප්‍රථම වරට ජාතික ශිෂ්‍යභට බළකාය විසින් මෙම ජාතික තරුණ විරු සම්මාන ප්‍රදානෝත්සවය සංවිධානය කරනු ලැබුවා.

අනාගත සමාජයේ ඕනෑම අභියෝගයකට මුහුණදීම සඳහා ක්‍රියාශීලි, බහුශ්‍රැත, විනයගරුක සහ අසාමාන්‍ය නායකත්ව ගුණාංගවලින් හෙබි පුරවැසියන් ලෙස ඔවුන්ගේ ක්‍රියාවෙන්ම ඔප්පු කරනු ලබන තරුණ විරුවන් ඇගයීමට ලක් කිරීම හා උපහාර දැක්වීම වෙනුවෙන් මෙම ජාතික තරුණ විරු සම්මාන ප්‍රදානෝත්සවය සිදුකරනු ලබනවා.

මෙම සම්මාන උළෙලේදී චරිත්මා ජිනේන්ද්‍රි සිසුවිය සහ සසිඳු නිම්සර සිසුවා වෙත සම්මාන පිරිනැමුණේ ඔවුන් විසින් දැක්වූ සුවිශේෂී නිර්භීතභාවය සහ අන්‍යයන්ගේ යහපත වෙනුවෙන් ඔවුන් විසින් සිදුකරන ලද පරාර්ථකාමී ක්‍රියාවන් අගයමින්.

එහිදී පුත්තලම  මහකුඹුක්කඩවල, කිවුල පිරිවෙනේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සසිඳු නිම්සර සිසුවා අඩි 36ක් ගැඹුරැති ළිඳකට වැටී ජීවිතයත් සමඟ සටන් කරමින් සිටි සිව් හැවිරිදි දරුවෙකු බේරා ගැනීමට නිර්භීතව ඉදිරිපත්වීම අගය කරමින් සම්මාන පිරිනැමීම සිදුකළා.

එමෙන්ම පාදුක්ක සිරි පියරතන විද්‍යාලයේ ඉගෙනුම ලබන පාදුක්ක වග, ඉරිද පොළ ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි චරිත්මා ජිනේන්ද්‍රි සිසුවිය පසුගියදා රාත්‍රියක ඒ අසල පිහිටි වක් ඔය පීටාර ගැලීම හේතුවෙන් තම නිවසේ සිරවී සිටි අඹුසැමි යුවලකගේ ජීවිත බේරා ගත්​ ආකාරය අගයමින් සම්මාන පිරිනැමීම සිදුකරනු ලැබුවා.

එහිදී රැහැනක ආධාරයෙන් නිවස දෙසට පිහිනා ගොස්, ඉතාමත් ධෛර්ය සම්පන්නව, තම ජීවිතය පවා අනතුරේ හෙළමින් ජිනේන්ද්‍රි ඔවුන්ගේ ජීවිත බේරා ගැනීම යන වීර ක්‍රියාවන් ඇගයීමට ලක් කළා.

අද දින පැවති උත්සව සභාවේදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මැතිතුමා සම්මාන ලාභී සිසු දරුවන් දෙදෙනාගේ ආදර්ශමත් වීර ක්‍රියාවන් පිළිබඳව ප්‍රශංසා කළ අතර, මෙම විරු සම්මානය ඔස්සේ විධිමත් පුහුණු විෂය මාලාවක් හරහා සාරධර්ම වලින් හෙබි, කාර්යක්‍ෂම හා ඵලදායී නායකයින් බවට පත්කිරීම සඳහා ජාතික ශිෂ්‍යභට බළකාය විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩපිළිවෙල වෙත තරුණ පාසල් සිසුන් සම්බන්ධ කිරීම දිරිමත් කරනු ලබන බව ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button