විදෙස්

ගාසාවේ ගොඩනැගුණු මළ සිරුරු

අඛණ්ඩව ක්‍රියාත්මක ඊශ්‍රායල ගුවන් ප්‍රහාර ගාසා තීරයේ උතුරු ප්‍රදේශ මෙන්ම මධ්‍යම සහ දකුණු කලාපද ඉලක්ක කර ක්‍රියාත්මකවී තිබෙනවා.

මධ්‍යම ගාසාහි මඝාසි කඳවුර සහ එක්සත් ජාතීන් පවත්වාගෙන ගිය මේවන විට සරණාගත කඳවුරක් ලෙස ක්‍රියාත්මක උතුරු ගාසාහි ජබාලියා පාසලත් ඊශ්‍රායල ප්‍රහාරවල ඉලක්කයක්වී තිබුණා.

මෙම ප්‍රහාරවලින් මියගිය ගාසා වැසියන් ගණන 50 කට අධික බවයි වාර්තාවන්නේ.

උතුරු ගාසාහි තුවාලකරුවන් වැඩි ප්‍රමාණයක් යොමුකෙරෙන අල් ෂිෆා රෝහලේ ඉන්ධන අවසන් වෙමින් ඇති අතර එසේ වුවහොත් රෝගීන් 100දෙනෙකු පමණ මියයනු ඇති බව රෝහල් බලධාරීන් පවසනවා.

ඊශ්‍රායලය ගාසා තීරය ඉලක්ක කර මාසයකට ආසන්න කාලයක් එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් දැනටමත් 10,000කට ආසන්න පලස්තීන වැසියන් පිරිසක් මියගොස් තිබෙන බව හමාස් පාලනය යටතේ ඇති සෞඛ්‍ය අංශ පවසනවා.

ප්‍රහාර හේතුවෙන් අවතැන් පිරිස් රඳවා සිටින කඳවුරු තුළ මේ වනවිට බෝවන රෝග ව්‍යාප්ත වන තත්ත්වයක් මතුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර පලස්තීන සිවිල් වැසියන් ලක්ෂ 4කට ආසන්න පිරිසක් රැඳී සිටින උතුරු ගාසා කලාපයේ ඊශ්‍රායල – හමාස් යුද ගැටුම් දිනෙන් දින තියුණු වෙමින් තිබෙනවා.

ඊශ්‍රායල හමුදා වෙත ප්‍රහාර එල්ල කරන අයුරු දැක්වෙන දර්ශන හමාස් සංවිධානය නිකුත් කර තිබුණේ මෙවන් පසුබිමකයි.

කෙසේ නමුත් ඊශ්‍රායල ආරක්ෂක ඇමතිවරයා පවසන්නේ ගැටුම්වලින් දැනටමත් හමාස් හමුදා නායකයින් 12 දෙනෙකු ඝාතනයට ලක්ව ඇති බවයි.

මේ අතර ජෝර්දානයේ සංචාරයක නිරත අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් හමුවූ අරාබි නායකයින් ගාසාහි කඩිනම් සටන් විරාමයක් ඇතිකිරීමට මැදිහත්වන ලෙස ඔහුට බලකර තිබුණා.

නමුත් ඉන් හමාස් සංවිධානය නැවතත් ශක්තිමත් වනු ඇති බව ඔහු පෙන්වා දුන්නේ අරාබි නායකයින්ගේ විරෝධය මධ්‍යයේයි.

ප්‍රහාර තාවකාලිකව අත්හිටුවන ලෙස බ්ලින්කන් පසුගිය සිකුරාදා ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහුගෙන් ඉල්ලා තිබුණත් එය ප්‍රතික්ෂේප කර තිබුණා.

ගාසාහි රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමට අවධානය යොමුකරන ලෙස බල කරමින් ඊශ්‍රායල අගමැතිවරයාගේ නිවස ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වී තිබෙනවා.

මාධ්‍ය වාර්තා කර තිබුණේ, හමාස් ප්‍රහාරයේදී ඊශ්‍රායල හමුදාවල පැවති දුර්වලකම් සම්බන්ධ වගකිම අගමැතිවරයා භාරගත යුතු බව බහුතර ඊශ්‍රායල ජනතාවගේ මතයවී ඇති බවයි.

ඔහු වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව එරට ජනතාවගෙන් හතරෙන් එකකගේම මතයවී ඇති බවත් ඇතැම් ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කර තිබුණා.

ගාසා ඉලක්ක කළ ඊශ්‍රායල ප්‍රහාරවලට එරෙහිව ධවල මන්දිරය ඇතුළු අමෙරිකාවේ ස්ථාන කිහිපයක විරෝධතා පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊශ්‍රායලය වෙත ආයුධ රැගෙන යන බවට පැවසෙන නෞකාවකට ගොඩවී එය යාත්‍රා කිරීමෙන් වැළැක්වීමට අමෙරිකාවේ ඕක්ලන්ඩ් වරායට රැස්වූ විරෝධතාකරුවන් උත්සාහ කර තිබෙන බවයි වාර්තාවන්නේ.

මේ අතර ඊශ්‍රායල හමුදා ගාසා තීරය තුළ සිය මෙහෙයුම් වැඩිකර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

මේවනවිට ඊශ්‍රායල හමුදාව ගාසා සිටිහි දකුණු වෙරළ තීරය දක්වා සිය මෙහෙයුම් ව්‍යාප්ත කර ඇති අතර ඊශ්‍රායල හමුදා බලධාරීන් පවසන්නේ, ගාසා තීරය උතුර සහ දකුණ ලෙස වෙන්කර ඇති බවයි.

සටන් දරුණු වන අවස්ථාවක අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් තුර්කියේ සංචාරයක් ආරම්භ කර තිබෙන බව වාර්තාවනවා.

මානුෂීය සටන් විරාමයක් සඳහා හමාස් සහ ඊශ්‍රායලය එකඟ කරවා ගැනීම ඔහුගේ අරමුණ බවයි සඳහන්වන්නේ.

නමුත් ඊශ්‍රායල හමුදාව පවසන්නේ මේ අවස්ථාවේ ඔවුන් සටන් නැවතුමක් සඳහා එකඟ නොවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button