දේශීය

Breaking: ජනාධිපතිවරණයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත්ව සම්මත කර නොමැති නිසා එය ජනමත විචාරණයකින් අනුමත වන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම රුපියල් ලක්ෂ 05 ක නඩු ගාස්තුවට යටත්ව විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

එම නඩු ගාස්තු ජුලි මස 31 වනදාට පෙර ගෙවිය යුතු බවත් එහි​දී නියෝග කෙරුණා.

අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම නියෝගය නිකුත් කළා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත් ආකාරයෙන් සම්මත වී නොමැති වීම නිසා එය ජනමත විචාරණයකට යොමු කර ඉන් අනුමැතිය ලබාගන්නා තෙක්  ජනාධිපතිවරණයක් පැවැත්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා විසින් පසුගිය සිකුරාදා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

අදාළ පෙත්සම මගින් පෙත්සම්කරු පෙන්වාදී තිබුණේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය තුළින්, 70 වන ව්‍යවස්ථාව සංශෝධනය කොට තේරී පත්වෙන පාර්ලිමේන්තුවක් වසරක් ගෙවී යාමෙන් පසුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා සතු බලය අහිමි කිරීමට කටයුතු කර ඇති බවයි.

එම සංශෝධනය ජනමත විචාරණයකට යොමු කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් තීන්දු කර තිබුණ ද එය ජනමත විචාරණයකින් මේ දක්වා අනුමත වී නොමැති බව පෙත්සම්කාර නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා කියා සිටියා.

එම සංශෝධනය ජනමත විචාරණයකින් අනුමත වී ජනාධිපතිවරයා ඊට අත්සන් තබා නොමැති නිසා එය නීතියක් වශයෙන් සැලකිය නොහැකි බවද පෙත්සම්කරු එ​ම පෙත්සමේ වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

එසේ තිබියදී  19 වන සංශෝධනය තවදුරටත් නීතියක් වශයෙන් පිළිගෙන කටයුතු කිරීම වැරදි සහගත බව ඔහු පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button