දේශීය

විදුලි සංදේශ පනත සංශෝධනය​ට මුදල් කාරක සභාවේ අනුමැතිය

විදුලි සංදේශ පනත සංශෝධනය කිරීම සඳහා වන ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බැලුණු අතර, ඊට අදාළ අනුමැති​ය හිමිව තිබෙනවා.

මෙම අනුමැතිය ලබා​දී තිබෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා​ගේ සභාපතීත්වයෙන් පසුගියදා (25) පාර්ලිමේන්තුවේදී මෙම කාරක සභාව රැස්වූ අවස්ථාවේදීයි.

1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත සංශෝධනය සඳහා මැයි 10 දින තාක්ෂණ අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙම පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකළ පෙත්සම්වලට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පසුගියදා කථානායකවරයා පාර්ලිමේන්තුවට නිවේදනය කර තිබෙනවා.

මේ අනුව රැස්වීමට පැමිණ සිටි නිලධාරීන් පවසා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට ගරු කරමින් අවශ්‍ය සියලු සංශෝධන පනත් කෙටුම්පතට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.

නිලධාරීන් පවසන්නේ ලොව තාක්ෂණික ප්‍රවණතා සමග මෙම පනත සංශෝධනය වීම කාලීන අවශ්‍යතාවක් බැවින් මීට පෙර අවස්ථා තුනකදී අමාත්‍ය අනුකාරක සභා මගින් මෙම පනත් කෙටුම්පත සංශෝධනය සදහා කටයුතු කළ ද එය ඉටුනොවූ බවයි.

මේ අනුව මේ වන විට ලොව පවතින පිළිගත් ප්‍රමිතීන්ට අනුගතව විදුලි සංදේශ ක්ෂේත්‍රයේ සියලු පාර්ශ්වයන් සමඟ පුළුල් සාකච්ඡාවකින් අනතුරුව මෙම පනත් කෙටුම්පත පිළියෙල කළ බව ද ඔවුන් පවසනවා.

එමෙන්​ම දැනට පවතින විදුලි සංදේශ පද්ධති බලපත්‍ර සහ සංඛ්‍යාත බලපත්‍ර ලබා දීමට අමතරව තවත් බලපත්‍රවර්ග 3ක් මෙම සංශෝධන හරහා හදුන්වාදීම සිදුවන බව මෙහිදී අනාවරණය වී තිබෙනවා.

මේ හරහා විදුලි සංදේශ සේවා සපයන සමාගම්වලට අමතරව යටිතල පහසුකම් සපයන සමගම්වලට ද බලපත්‍ර ලබාදීම සිදුකරනවා.

මෙහිදී නිලධාරීන් පෙන්වා දී ඇත්තේ, ලොව වඩාත් සාධනීය පියවරක් වන වෙළඳපළ තරගකාරීත්වය තුළ ගාස්තු අඩුකිරීමේ වාසිය පාරිභෝගිකයාට ලබාදීමට මෙම සංශෝධන හරහා අවස්ථාව ඇති බවයි.

එමෙන්​ම මුහුදු මාර්ගයේ විදුලි සංදේශ රැහැන්වල ආරක්ෂාව සදහා ද සංශෝධන ඉදිරිපත් කර ඇති බව මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

කාරක සභා සභාපතිවරයා අවධාරණය කළේ විදුලි සංදේශ තාක්‍ෂණයේ දියුණුවත් සමඟ ලෝකය වේගයෙන් වෙනස් වෙමින් පවතින බැවින් එම තාක්‍ෂණයෙන් ප්‍රයෝජන ගැනීමට සහ ප්‍රතිලාභ ලබා ගැනීමට මෙරට නීති සකස් විය යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button