දේශීය

සැත්කමින් පසු දැරියෙක් මිය යාමේ සිද්ධියේ වෛද්‍යවරයාට නියෝගයක්

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමෙන් පසුව තුන් හැවිරිදි දැරියක මියයාමේ සිද්ධිය අපරාධයක් බවට පොලිස් විමර්ශන වලදී  කරුණු අනාවරණය වන්නේ නම් සැත්කම කළ විශේෂඥ වෛද්‍යවරයා සාක්ෂිකාරයෙකු ලෙස නොව සැකකරුවකු ලෙස නම්කර වහාම අත්අඩංගුවට ගෙන  අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා රහස් පොලිසියට අද (09) නියෝග කළා.

දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණ විමර්ශනයේ සාක්ෂිකරුවකු ලෙස නම් කර ඇති විශේෂඥ ශල්‍ය වෛද්‍ය නවීන් විජේකෝන් මහතා  මරණ පරීක්ෂණ විමර්ශනයේ සාක්ෂි විභාගය මග හරිමින් විදේශගතව ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන්  අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළා.

කොටහේන ප්‍රදේශයේ පදිංචි මවුපිය යුවළකගේ අවුරුදු දෙකක් වයස හම්දි දැරියගේ වම් වකුගඩුව අක්‍රිය  වීම හේතුවෙන් එය ඉවත් කිරීමට 2022දෙසැම්බර් 22 වන දින  කළ ශල්‍ය කර්මයෙන් මාස හයකට පමණ පසුව දකුණු වකුගඩුවද නොමැතිව දරුවා  මිය යාම සිද්ධිය  සම්බන්ධයෙන් සිදුකරන මහේස්ත්‍රාත් පරීක්ෂණ සාක්ෂි විභාගය කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කරනු ලැබුවා.

ඊයේ මෙම පැමිණිල්ල පශ්චාත් මරණ පරීක්ෂණ විමර්ශනයේ වෛද්‍යවරයාට අදාළ සාක්ෂි විභාග කිරීම සඳහා කැඳවූවා.

දැරියගේ ශල්‍යකර්මය භාරව කටයුතු කළ විශේෂඥ ශල්‍ය වෛද්‍ය නවීන් විජයකෝන් මහතාගේ සාක්ෂි ස්කයිප් තාක්ෂණය ඔස්සේ කැඳවීමට නියම කර තිබුණද ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින සාක්ෂිකරු සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් පැවසුවා.

සාක්ෂිකරුවකු ලෙස නම්කර ඇති විශේෂඥ වෛද්‍යවරයා සාක්ෂි ලබාදීම මගහරිමින් සිටින බවට පෙනී යන බව ද රහස් පොලිසිය කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button