විදෙස්

මරණීය කලාපයක්වූ ගාසාහි අල් ශිෆා රෝහල

ගාසාහි අල් ශිෆා රෝහල් පරිශ්‍රය මරණ කලාපයක්වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින් මේ බව සඳහන් කර තිබුණේ, රෝහල් පරිශ්‍රයෙන් ඊශ්‍රායල හමුදා ඉවත් වීමෙන් පසුව සිදුකළ නිරීක්ෂණයෙන් අනතුරුවයි.

රෝහල් පරිශ්‍රයට එල්ලවූ ප්‍රහාර කිහිපයක්ම එහිදී ඔවුන් විසින් නිරීක්ෂණය කර ඇති අතර රෝහල් පිවිසුම ආසන්නයේ සමූහ මිනී වළක්ද දක්නට ලැබී ඇති බව සඳහන්වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඒ තුළ පුද්ගලයින් 80 දෙනෙකුගේ පමණ මළ සිරුරු ඇති බවයි.

මේ වන විට අල් ශිෆා රෝහලේ රැදී සිටි රෝගීන් ඇතුළු පිරිස් එම රෝහලෙන් ඉවත් වෙමින් සිටින අතර බරපතල තත්ත්වයේ පසුවන රෝගීන් 300 දෙනෙකු පමණ එහි රැඳී සිටින බව රෝහල් බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර ඊශ්‍රායල හමුදාව විසින් ගාසා තීරයේ උතුරු කොටසේ පිහිටි, අල් ෂිෆා රෝහල ආසන්නයේ හමාස් සටන්කාමීන්ට අයිති බව පැවසෙන උමං මාර්ගයක ඡායාරූප සහ වීඩියෝ පට මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

ඊශ්‍රායල හමුදාව පවසන්නේ අල් ෂිෆා රෝහල යට පිහිටි මෙම උමං මාර්ගය මීටර් 55 ක් දිග, මීටර් 10 ක ගැඹුරකින් යුක්ත වූවක් බවයි.

එමෙන්ම ,මෙම සාක්ෂි හමුවේ හමාස් සටන්කාමීන් විසින් අල්-ශිෆා රෝහල් සංකීර්ණයේ බොහෝ ගොඩනැඟිලි මෙලෙස භූගත බංකර වශයෙන් භාවිත කරන බවට ඊශ්‍රායල හමුදාව අවධාරණය කරනවා.

අල්-ශිෆා රෝහල හමාස් මෙහෙයුම් මධ්‍යස්ථානයක් බවට ඊශ්‍රායල හමුදාව චෝදනා කළත් හමාස් සංවිධානය මෙන්ම එහි රෝහල් කාර්ය මණ්ඩලයද එම චෝදනා දිගින් දිගටම ප්‍රතික්ෂේප කර තිබුණා.

හමාස් සටන් කාමීන් විසින් ප්‍රාණ ඇප කරුවන් සැඟවීම සඳහාද අල්-ශිෆා රෝහල භාවිත කර ඇති බවට නිශ්චිත සාක්ෂි හමුවී ඇති බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව නිවේදනය කර තිබෙනවා.

මේ අතර ගාසා ජනතාවට සහයෝගය දැක්වීම සඳහා දකුණු කොරියාවේ ජනතාව ‘සපත්තු‘ විරෝධතාවක නිරතවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගාසා තීරයේ ජනතාවට සහයෝගය පළ කිරීමට මෙන්ම සටන් විරාමයක් ඉල්ලීමට එම ‘සපත්තු‘ විරෝධතාව පවත්වා ඇති බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ.

ඊට සපත්තු 2000ක් ඇතුළත්ව තිබූ අතර, ‘සපත්තු‘ විරෝධතාව ගාසා තීරයේ මිය ගිය පලස්තීන ජනතාව සංකේතවත් කිරීමක් බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button