පොලීසියට බයේ දිව්ව තරුණයෙක් දුම්රියක ගැටී මිය ගිහින්

මොරටුව අඟුලාන සුසාන භූමිය ආසන්නයේ නිවසක බීමතින් හැසිරුණු තරුණයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පැමිණෙන විට එම තරුණයා නිවසින් පැන යාමේදී දුම්රියක හැපී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ප්රදේශවාසීන් පැවසුවේ, එම තරුණයා කළහාකාරී ලෙස හැසිරුණු බැවින් පොලිසිය දැනුවත් කිරීමෙන් පසු පළමු දිනයේ එහි පැමිණි නිලධාරීන් තරුණයාට පහර දී තිබූ බවයි.
එම අවස්ථාවේ තරුණයා නිවසින් පැනගොස් තිබූ අතර, දෙවැනි දිනයේදී යළි පොලිසිය ඔහු අත්අඩංගුවට පැමිණෙන විට තරුණයා යළි දිවගොස් බේරීමට යාමේදී දුම්රියේ හැපී ඇති බව ද ප්රදේශවාසීන් ප්රකාශ කළා.
කෙසේවෙතත් මියගිය තරුණයාගේ දේහය අඟුලාන සුසාන භූමිය අසළ දුම්රිය මාර්ගයේ තිබී අද පෙරවරුවේ සොයාගැනුණා.
මෙලෙස මියගොස් ඇත්තේ 22 හැවිරිදි සුපුන් රන්දික නැමැති තරුණයෙක්.
එහිදී මෙම තරුණයා මියයාම සම්බන්ධයෙන් එම තරුණයාගේ මව්පියන් පොලීසිය වෙත චෝදනා එල්ල කර තිබෙනවා.
මියගිය තරුණයාගේ මව්පියන් පවසන්නේ, අද (15) අලුයම පොලිස් නිලධාරීන් පිරිසක් තම නිවස වෙත පැමිණි බවත් එහිදී සිය පුත්රයා ඔවුන්ගෙන් මිදීමට පළා ගිය බවයි.
පසුව අද පෙරවරු 7ට පමණ සිය පුත්රයා දුම්රියට පැන ජීවිතක්ෂයට පත්වූ බවට පොලිස් නිලධාරීන් තමන්ව දැනුම්වත් කළ බව තරුණයාගේ මව්පියන් පැවසුවා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මියගිය තරුණයාගේ පියා,
“නිදාගෙන හිටියා. පොලීසිය ඇවිත් දොරට ගැහුවා. ඇරපන් ඇරපන් දොර කිව්වා. ඊට පස්සේ, සුපුනා උඹ කේස් එකක් දාගත්තානේ පිටිපස්සේ දොරනේ පැනලා යන්න කිව්වා. පැනලා යද්දි මුළු ගේම තුන්දෙනෙක් බැලුවා. අනිත් තුන්දෙනා වැල්ල දිගේ පන්නාගෙන ගියා. 7.30ට විතර ආරංචි වුණේ කෝච්චියට පැනලා කියලා.”
මියගිය තරුණයාගේ මව,
“එක කොල්ලයි. අනේ පොලීසිය උදේම ඇවිත් කිව්වා භාරවුණේ නැත්නම් මූව හයිකෝට් දානවා. මූව දීපන් කිව්වා. අනේ මූ දිව්වා. ගෙයින් දුවද්දි කෝච්චියෙන් වැදුනේ…”