දේශීය

නීතිඥ සංගමය යැවූ ලිපියට ජනපතිගෙ​න් පිළිතුර​ක්

නව නීතිපතිවරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කරන ලද ලිපියට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පිළිතුරු ලිපියක් මඟින් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ජනාධිපති ලේකම්වරයා එම ලිපිය මඟින් අවධාරණය කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සහිතව නීතිපතිවරයා පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ඇ. ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව බලය පවතින බවයි.

තවද ජ්‍යෙෂ්ඨත්වය මත පදනම්ව නීතිපති දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨතම නිලධාරියා මෙම තනතුර සඳහා පත්කිරීමට ව්‍යවස්ථාපිත අවශ්‍යතාවක් නොමැති බවද එහි සඳහන්.

එසේම නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වෙත නීතිපති ධූරය ලබාදීමේ ක්‍රමයක් ශ්‍රී ලංකාවේ ඉතිහාසය තුළ අනුගමනය කර නොමැති බවද එම නිවේදනය සඳහන් වනවා.

ජනාධිපති නීතිඥ සරත් එන්. සිල්වා මහතා සහ ජනාධිපති නීතිඥ මොහාන් පීරිස් මහතා වැනි පසුගිය කාලය තුළ නීතිපති ධූරය සඳහා සිදුකර ඇති පත්වීම් නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් පරිබාහිරව සිදුකර ඇති බව එම ලිපියේ සඳහන්.

ජනාධිපතිවරයාගේ සහ අමාත්‍ය මණ්ඩලයේ විශ්වාසය තහවුරු කර ගැනීමට හැකි සියලු සුදුසුකම්ලාභීන් පිළිබඳ පුළුල් ලෙස සලකා බැලීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කර ඇති ජනාධිපති ලේකම්වරයා නීතිපති ධූරය සඳහා වෙනත් සුදුසුකම්ලාභීන් සිටියදී එක් පුද්ගලයෙකු වෙනුවෙන් පමණක් ශ්‍රී ලංකා නීතීඥ සංගමය පෙනී නොසිටිය යුතු බව මෙම ලිපිය මඟින් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

හිටපු නීතිපති සංජේ රාජරත්නම් මහතා විශ්‍රාම යාමෙන් පුරප්පාඩු වූ නීතිපති ධූරය සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා පත් කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය මීට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් සිදුකර තිබුණා.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ලේකම් චතුර ඒ. ගල්හේන මහතාගේ අත්සනින් යොමු කර ඇති මෙම ලිපිය මඟින් නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සහ යුක්තියේ සාධාරණත්වය සහතික කිරීම සඳහා නීතිපතිවරයා සතු තීරණාත්මක කාර්යභාරය අවධාරණය කර ඇති අතර, ඔවුන්ගේ මෙම ඉල්ලීම සාධනීය අයුරින් සලකා බලන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button