බදු ගෙවීම පැහැර හරින්නන් ගැන හොයන්න වැඩපිළිවෙලක්

නව බදු පැනවීමට පෙර, ගෙවීම් පැහැර හැර ඇති හා කල්ගිය බදු මුදල් අය කරගැනීම පිලිබඳව අවධානය යොමුකරන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
අමාත්‍යවරයා පවසන්නේ, ඒ සඳහා දැනට පවත්නා නීතී යාවත්කාලීන කර, එලෙස පැහැර හරින බදු අය කරගැනීම සඳහා සුවිශේෂී වැඩපිළිවෙලක් දියත් කරන බවයි.
එමෙන්ම බදු ගෙවීමට යටත් වන්නේ මසකට රුපියල් ලක්ෂයකට වැඩි ශුද්ධ ආදායමක් ඇති අයෙක් පමණක් බවත්, ඔහු වෙනත් තැනකින් බදු ගෙවීමක් කර ඇත්නම් නැවත ඔහු බදු ගෙවිය යුතු නැති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
ඒ පිළිබඳව ලිඛිතව ප්‍රාදේශීය කාර්යාලයට දැනුවත් කරන ලෙසත් රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.
බදු පැහැර හරින්නන් හසු කරගැනීම වෙනුවෙන් කළ හැකි ශක්තිමත්ම දැළ එලා ඇති බවත්, තොරතුරු තාක්ෂණය සමගින් පවත්නා නීති යාවත්කාලීන කිරීමට පියවර ගෙන ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රංජිත් සියඹලාපිටිය මහතා,
“යම් ආකාරයකින් තමන්ට බදු ගෙවීමේ අසීරුතාවයක් ඇති නම් ඒ පිළිබඳව අභියාචනා කිරීමට මෙන්ම ඒ පිළිබඳව උසාවි යෑමට ඔවුන්ට අයිතියක් තිබෙනවා. එවැනි ඇතැම් උසාවි ක්‍රියාමාර්ග වසර 30කට පමණ වැඩි කාලයක් දිගින් දිගට දිග්ගැසෙමින් පැවතීම හේතුවෙන්, අධිකරණ ක්‍රියාමාර්ගය අවසන් වනවිට ඇතැමුන් මියගොසින්.”