දේශීය

යතුරුපැදිය හැප්​පූ ලොරි රථය හඹාගිය පියෙකු ජීවිතක්ෂයට

තම යතුරුපැදිය අනතුරට ලක්කරමින් පලාගිය ලොරි රථය පසුපස කිලෝමීටර එක හමාරකට පමණ දුරක් හඹාගිය පියෙකු අවසානයේ ජීවිතක්ෂයට පත්වී ඇති ඛේදජනක පුවතක් බලංගොඩ පොලිස් ස්ථානයෙන් වාර්තා වනවා.

බලංගොඩ නගරයේ බස් නැවතුම්පල ඉදිරිපිට පෙර දින (01) දින පස්වරු 3.00 ට පමණ යම් මාර්ග අවහිරතාවයක් ඇතිවී ඇති අවස්ථාවක මෙම අනතුර සිදුවි තිබෙන බවයි පොලීසිය පවසන්නේ.

එහි​දී යතුරුපැදික​රු තම බිරිඳ සහ දියණිය සමඟ මෙම අවහිරතාවයේ යතුරුපැදිය නවතාගෙන සිටියදී, විරුද්ධ දිසාවෙන් පැමිණි ලොරි රථයක් යතුරුපැදියේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් පියාගේ පිටුපස සිටි දියණියගේ පාදයකට තුවාල සිදුවී තිබෙනවා.

දියණියට තුවාල සිදුවීමෙන් උරණ වී ඇති පියා දියණිය සහ බිරිඳ එම ස්ථානයේ රඳවා යතුරුපැදියෙන් ලොරි රථය පිටුපස කිලෝමීටර 01 ක පමණ දුරක් හඹා ගොස් ඇති අතර කල්තොට පාර, කහටපිටිය හංදියේදී අදාළ ලොරි රථය නැවැත්වීමට උත්සාහකර තිබෙනවා.

අනතුරු​ව ලොරි රථය නැවත නොනවත්වා ධාවනය කිරීමට උත්සාහ ගැනීමේදී මෙම යතුරුපැදික​රු ලොරි රථයේ දකුණු පස දොරේ එල්ලී ඇති බව යි වාර්තාවන්නේ.

පුද්ගලයෙකු තම ලොරි රථයේ දොරේ එල්ලී සිටියදීත් ලොරි රථය මීටර 500 ක් පමණ ධාවනය කර ඇති ලොරි රථයේ රියදුරු වංගුවක් සමග මාර්ගයේ දකුණු පස ටෙලිකොම් සමාගමට අයත් කණුවක ලොරි රථයේ එල්ලී සිටි පුද්ගලයා ගැටීමට ලක්කර ඇති බව වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා.

කණුවේ ගැටීමෙන් ඇඳ වැටී ඇති පුද්ගලයාව (පියා) එම ස්ථානයට වහා පැමිණි පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව බලංගොඩ මූලික රෝහල වෙත ඇතුලත් කළද ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ලොරි රථයේ රියදුරු පලාගොස් ඇතත් රියදුරු කවුරුන්ද යන්න හඳුනාගෙන ඇති බවයි බලංගොඩ පොලිසිය පවසන්නේ.

සැකකාර රියදුරු අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් කණ්ඩායම් කිහිපයක් යොදවා මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 32 ක් වන කම්කරු රැකියාවක නියුතු අම්බැවිල, පල්ලෙබැද්ද, බලංගොඩ ලිපිනයේ පදිංචිකරුවෙක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button