ජගත් මානව හිමිකම් කමිටුව සහ ශ්‍රී ලංකාවේ නියෝජිතයන් අතර සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ නියෝජිතයන් සමග ඵලදායි සාකච්ඡාවක නිරත වූ බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව නිවේදනය කර තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව මේ බව සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාව, ඊජිප්තුව, පැනමාව, පේරු, ටර්ක්මේනිස්තානය සහ සැම්බියාව සම්බන්ධ වන මානව හිමිකම් වාර්තා සළකා බලා එහි 137 වන වාරයට අදාළ අවසන් නිරීක්ෂණ ඉදිරිපත් කරමින්.
ශ්‍රී ලංකාව සමග මානව හිමිකම් ක්ෂේත්‍රයේ ධනාත්මක සංවර්ධනයන් සහ හදුනාගත් කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව එම කමිටුව වැඩිදුරටත් සදහන් කරනවා.
එමෙන්ම, ඇතැම් නිර්දේශ ඉදිරිපත් කිරීම ද එහිදී සිදුකළ බවත් 135, 136 සහ 137 වන සැසිවාරයන්ට අදාළ වාර්ෂික වාර්තාවද නිකුත් කල බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව සඳහන් කර තිබෙනවා.
මෙම සැසිවාර තුනේ දී කමිටුව වෙත පැමිණිලි 183 ක් පමණ ලැබී ඇති අතර ඉන් 93 ක් සම්බන්ධයෙන් එම කමිටුව සිය අදහස් ඉදිරිපත් කර තිබූ අතර එහිදී පැමිණිලි 17ක් සම්බන්ධ කටයුතු අවසන් කර ඇති බව සඳහන්.
තවත් පැමිණිලි 63ක් ඉදිරියට රැගෙන නොයාමට තීරණය කර තිබෙනවා.
මේ අතර, මානව හිමිකම් කමිටුව වැඩිදුරටත් සදහන් කර ඇත්තේ රටවල් රැසක් තමන්ට අවශ්‍ය තොරතුරු ලබා නොදීම හරහා සහයෝගයෙන් කටයුතු නොකිරීම කනගාටුවට කරුණක් බවයි.