දේශීය

ශ්‍රී ලංකාව සහ මෙටා සමාගම අතර සහයෝගීතා වැඩසටහනක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නිව්යෝර්ක්හි මෙටා සමාගමේ ගෝලීය සම්බන්ධතා අංශයේ සභාපති, ශ්‍රීමත් නික් ක්ලෙග් මහතා අතර හමුවක් සිදුව තිබුණා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, ඊයේ (19) සවස එම හමුව පැවති බවයි.

අන්තර්ජාලය ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වෛරී ප්‍රකාශ සහ අසත්‍ය ප්‍රචාර මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති නව ක්‍රියාමාර්ග පිළිබඳව එහිදී ජනාධිපතිවරයා විසින් පැහැදිලි කර තිබෙනවා.

ජනාධිපතිවරයා සඳහන් කළේ, ඒ වෙනුවෙන් ඉදිරියේදී හඳුන්වාදීමට යෝජිත පනත මඟින් බලපෑමට ලක්වූවන්ට ශ්‍රේෂ්ඨාධිකරණය හරහා ක්‍රියාමාර්ග ගතහැකි බවත්, පාර්ලිමේන්තු කාරක සභා සමාලෝචනයේදී මෙම පනතට තවත් සංශෝධන එක් කළ හැකි බවයි.

ශ්‍රී ලංකා රජය සහ මෙටා සමාගම අතර කෘත්‍රීම බුද්ධි කෂේත්‍රයේ හවුල්කාරීත්වයක් ඇති කරගැනීමේ අවස්ථා සොයා බැලීමටත්, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල සංවර්ධනය කිරීමට මෙටා සමාගම සමග සහයෝගීතා වැඩසටහනක් ඇති කර ගැනීමටත් මෙහිදී යෝජනා තිබෙනවා.

දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා දත්ත මත පදනම් වු වැඩසටහන් සංවර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් සඳහා කෘත්‍රීම බුද්ධිය භාවිත කරන අතරම, අධ්‍යාපනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් මෙරට කෘත්‍රීම බුද්ධි ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම තම අවධානය යොමු කළ ප්‍රධාන ක්ෂේත්‍ර දෙක බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button