දේශීය

තිරිඟු පිටි සඳහා පාලන මිලක් පැනවීම ප්‍රායෝගික නැහැ -අමාත්‍ය නලින් ප්‍රනාන්දු

තුර්කියෙන් හා ඩුබායි යන රටවල්වලින් ඇණවුම් කර ඇති තිරිඟු පිටි තොග සැප්තැම්බර් මස 15 පමණ වන විට මෙරටට ලැබීමට නියමිත බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඊයේ (05) වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේදී, සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය අතර පැවතී හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

වැඩිදුරටත් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ මහා පරිමාණ තිරිඟු පිටි නිෂ්පාදන සමාගම් දෙක සමග පසුගියදා පැවති සාකච්ඡාවකදී මාසයකට අවශ්‍ය තිරිඟු පිටි නිෂ්පාදනය කිරිම සදහා වූ තොග ඔවුන් සතුව ප්‍රමාණවත්ව පවතින බව එම සමාගම් දෙක ප්‍රකාශ කළ බවයි .ඒ අනුව ඉදිරියේදී වෙළෙඳපොළේ තිරිඟු පිටි හිඟයක් ඇති නොවන බවත් තිරිඟු පිටි මිල ඉහළ නැංවීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත්, මේ මොහොතේ තිරිඟු පිටි සඳහා පාලන මිලක් පැනවීම ප්‍රායෝගික නොවන බවත් සඳහන් කළා.

ඉදිරි මාස හය සඳහා දේශීය පරිභෝජනයට අවශ්‍ය තිරිගු පිටි අවශ්‍යතාවය පිළිබඳව ලිඛිත වාර්තාවක් ලබා දෙන ලෙසද අමාත්‍යවරයා මෙහිදී වෙළෙඳ අමාත්‍යාංශ බලධාරීන් දැනුවත් කරමින් කියා සිටියා.

ඒ අනුව ඉදිරි පරිභෝජනය සඳහා අවශ්‍ය තිරිඟු පිටි ප්‍රමාණයන් වෙළෙඳපළට නිකුත් කරන ලෙස ආදාළ මහා පරිමාණ තිරිඟු පිටි නිෂ්පාදන සමාගම් වලට ඉල්ලීම් කළ හැකි බවත්, විශේෂයෙන් සිය තිරිඟු පිටි නිෂ්පාදන ධාරිතාවය ඉහළ නංවන ලෙසට මේ වන විටත් මහා පරිමාණ තිරිඟු පිටි නිෂ්පාදන සමාගම් වෙත ඉල්ලීමක් කර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button