දේශීය

අනවසරයෙන් දොස්තරකම් කළ වෛද්‍ය සිසුවිය රිමාන්ඩ්

නීත්‍යානුකූ​ල වෛද්‍යවරියක් ලෙස පෙනී සිටිමින් නීතිඥ යුවළකගේ බාල වයස්කාර දරු දෙදෙනෙකුට ඖෂධ ලබා දුන් බව පවස​න වෛද්‍ය සිසුවියක් ජූලි 19 වන ​‍දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා ඊයේ (15) නියෝග කළා.

සැකකාර සිසුවිය බරපතළ වරදක් සිදු කර ඇති බව පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් දක්වන කරුණුවලින් හෙළි වන බවත් මෙය මහාධිකරණයෙන් දඬුවම් ලබා දිය හැකි අධි චෝදනීය වරදක් බවත් මහේස්ත්‍රාත්වරයා පවසනවා.

මහේස්ත්‍රාත්වරයා පෙන්වා දෙන්නේ, සැකකාර වෛද්‍ය සිසුවිය සිදු කර ඇත්තේ, මනුෂ්‍ය ඝාතන වරදකට සමාන වරදක් බවයි.

වැල්ලම්පිටිය ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක සේවය කරන බව​ට පවස​න ප්‍රසව හා නාරි වේද වෛද්‍ය විශේෂඥවරියකගේ දියණියක් එලෙ​ස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

නීතිඥ හුසේන් අසාර් සයිනුන් මහතා වැල්ලම්පිටිය පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර වෛද්‍ය සිසුවිය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

පැමිණිලිකාර යුවළගේ 6 හා 4 යන වයස්වල පසුවන දරු දෙදෙනාට කැස්ස හා සෙම්ප්‍රතිශ්‍යාව ඇති වීම හේතුවෙන් ඉකුත් 3 වන දා වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත දරු දෙදෙනාව රැගෙන ගොස් ඇති බවත් එහිදී සැකකාර වෛද්‍ය සිසුවිය නීත්‍යානුකූ​ල වෛද්‍යවරියක් ලෙස පෙනී සිටිමින් දරුවන් දෙදෙනා පරීක්ෂා කර බලා ඔවුන්ට ප්‍රතිකාර ලබාදී ඇති බවත් නීතිඥවරු අධිකරණයට දැන්වුවා.

සැකකාර වෛද්‍ය සිසුවිය නියම කරන ලද ඖෂධ දින 5ක් දරුවන්ට ලබා දී ඇති නමුත් ඔවුන්ගේ රෝගී තත්ත්වය උත්සන්න වී ඇති බවද නීතිඥවරුන් අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළිවී තිබෙනවා.

නීතිඥවරුන් අධිකරණයට දන්වා ඇත්තේ, පසුව පැමිණිලිකාර නීතිඥ අඹු සැමි යුවළ දරු දෙදෙනාව වෙනත් විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර ඖෂධ ලබා දීමෙන් අනතුරුව දරු දෙදෙනාගේ ජීවිත අවදානම පහව ගොස් ඇති බවයි.

පළමු වසරේ අධ්‍යාපනය ලබන එක් දරුවෙකු දින කිහිපයක් පාසල් නොයෑම නිසා එම දරුවා අධ්‍යාපනය ලබන පාසලෙන් වෛද්‍ය වාර්තාවක් ඉල්ලා ඇති බවත් ඒ අනුව අදාළ වෛද්‍ය වාර්තාව ලබා ගැනීම සඳහා නීතිඥ යුවළ වෛද්‍යවරියක ලෙස පෙනී සිටි වෛද්‍ය සිසුවිය රෝහලේදී හමු වී ඇති බවත් නීතිඥවරු අධිකරණය හමුවේ පැවසුවා.

ඒ අනුව, සැකකාර වෛද්‍ය සිසුවිය වෙනත් වෛද්‍යවරයකුගේ රබර් මුද්‍රාවක් යොදා ඇය අත්සන් කර ඇති බවද ඒ පිළිබඳව සැක සිතූ නීතිඥ යුවළ සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලකින් පසුව මෙම වංචාසහගත සිද්ධිය අනාවරණය වී ඇති බවද නීතිඥවරු අධිකරණය හමුවේ වැඩිදුරටත් සඳහන් කළා.

මෙම වෛද්‍ය සිසුවිය අවසන් වසරේ විභාගය සමත්ව ඇති නමුත් ඇය උපාධි සහතිකයවත් ලබා ගෙන නොමැති අයෙකු බවත් වෛද්‍ය උපාධිය ලබා ගත් අයෙකුට සිය වෘත්තියේ නියැලිමට හැකියාව ලැබෙන්නේ රජයේ රෝහලකට අනුයුක්තව වසරක පමණ සීමා වාසික පුහුණුවකින් පසුව බවද නීතිඥවරු පැවසුවා.

එම වෛද්‍ය සිසුවියට එවැනි ක්‍රියාවක නිරත වීමට ඉඩ සලසා දෙමින් විශේෂඥ වෛද්‍යවරියක් වන ඇගේ මවද බරපතළ වරදක් කර ඇති බව නීතිඥවරු අධිකරණයට දැන්වූවා.

සිද්ධියට අදාළව වැල්ලම්පිටිය පොලිසිය බී වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කළ නමුත් සැකකාර වෛද්‍ය සිසුවිය අධිකරණය වෙත ඉදිරිපත් කර නොතිබූ අතර ඒ පිළිබඳව අවධානය යොමු කළ මහේස්ත්‍රාත්වරයා වහාම ඇයව අත්අඩංගුවට ගෙන ඊයේ දිනයේ ම අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නියෝග කළා.

ඒ අනුව, වැල්ලම්පිටිය පොලිසිය මගින් සැකකාර වෛද්‍ය සිසුවිය ඊයේ පස්වරුවේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එලෙ​ස රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළා.

කෙසේවෙත​ත් සැකකාර වෛද්‍ය සිසුවිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ, සැකකාර සිසුවිය සිය මවගේ අධීක්ෂණය යටතේ එම ප්‍රතිකාර ලබාදී ඇති බැවින් ඇය වරදක් සිදු කර නොමැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button