අයහපත් කාලගුණයෙන් පවුල් 164කට බලපෑම්

මේ දිනවල ඇදහැළෙන අධික වර්ෂාව හේතුවෙන් රට තුළ ඇති වී තිබෙන ආපදා තත්ත්වය හේතුවෙන් රත්නපුර, කළුතර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16ක පවුල් 164ක පුද්ගලයන් 644ක් ඊයේ (29) පස්වරුව වන විට ආපදාවට ලක්ව සිටි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළා.
මේ අතර, අයහපත් කාලගුණයෙන් අර්ධ නිවාස හානි ගණන 36ක් බවත් වාර්තා වෙනවා.
ඊයේ (29) පෙරවරු 8.30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය මි.මී 120ක් ලෙස කුකුළේ ගඟ ප්‍රදේශයෙන් වාර්තා වුණා.
නිල්වලා, ගිං, සහ කළු ගංගාවල ද්‍රෝණිවල මෙන්ම කුඩා ගඟ උප ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම් අද (30) දක්වා වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් දීර්ඝ කර තිබෙනවා.
එමෙන්ම, ගාල්ල, හම්බන්තොට, කළුතර, මහනුවර, කෑගල්ල, මාතර, රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 29ක් සඳහා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය නිකුත් කර තිබූ දෙවැනි සහ පළමු අදියරේ නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් අද (30) දහවල් 12 දක්වා වලංගු වන පරිදි දීර්ඝ කර තිබෙනවා.