දේශීය

ජනගහනයෙන් 20.3%කට බොන්න වතු​ර නෑ

මෙරට ගෘහස්ථ ජනගහනයෙන් 20.3%කට මූලික පානීය ජල පහසුකම් නොමැති බවට අනාවරණය වී තිබෙනවා.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිදුකළ සමීක්ෂණයකට අනුව මේ බව අනාවරණය වී තිබුණා.

එමෙන්ම මෙරට ගෘහස්ථ ජනගහනයෙන් 16.1%කගේ ප්‍රධාන පානීය ජල මූලාශ්‍රය වී ඇත්තේ අනාරක්ෂිත ළිඳ බව ද අනාවරණය වී තිබෙනවා.

මෙරට ජනතාව භාවිත කරන පානීය ජලය සම්බන්ධයෙන් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිදුකළ සමීක්ෂණයකට අනුව ආසන්න වශයෙන් ගෘහස්ත ජනගහනයෙන් තුනෙන් එකකට සිය පරිශ්‍ර තුළ ආරක්ෂිතව පානීය ජල සේවාවක් ලබාගත හැකි බව අනාවරණය වී තිබෙනවා.

එම සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ, නාගරික ප්‍රදේශවල ජනගහනයෙන් තුනෙන් දෙකක් සහ ග්‍රාමීය ජනගහනයෙන් හතරෙන් එකක් ආරක්ෂිත පානීය ජලය භාවිත කරන අතර වතු ජනගහණයෙන් 3.1%ක් පමණක් ආරක්ෂිත පානීය ජලය භාවිත කරන බවයි.

එමෙන්ම මෙරට ගෘහස්ථ ජනගහනයෙන් 70%කට වැඩි පිරිසකගේ පරිශ්‍රවල වැඩිදියුණු කළ මූලාශ්‍ර යොදා ගනිමින් පානීය ජලය භාවිත කරන බවද වාර්තාවනවා.

මේ අතර මෙරට ජනගහනයෙන් 6.3%ක් මූලික සනීපාරක්ෂක සේවා භාවිත නොකරන අතර ගෘහස්ථ ජනගහනයෙන් 0.1%ක් පමණ එළිමහනේ මළපහ කරන බවට ද අදාළ සමීක්ෂණයෙන් අනාවරණය වී තිබෙනවා.

මෙරට ගෘහස්ථ ජනගහනයෙන් 84.9%ක් ජල මුද්‍රා පහසුකම සහිත වැසිකිළි භාවිත කරන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිදුකළ සමීක්ෂණයෙන් වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button