ගෝඨා ආණ්ඩුවේ කැබිනට්ටුවේ 5න් 1ක්ම රාජපක්ෂවරු – ප්‍රසන්න
උසනම් සිකියුරිටි මිටිනම් කම්කරු පන්නයේ ප්‍රතිපත්ති ඇති විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට රට භාරදුන්නොත් රටේ හා දරුවන්ගේ අනාගතය පිළිබඳ කතා කිරීමට දෙයක් නොමැති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.
අමාත්‍යවරයා පවසන්නේ, මේ මොහොතේ රටේ අනාගතය භාර දිය හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බවයි.
ඊයේ (25) ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ආසනයේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රසන්න රණතුංග මහතා,
සජිත් ප්‍රේමදාස මහත්තයාට යමක් කරන්න පුළුවන්ද? අවුරුදු ගාණක් හිටියට කරපු දෙයක් නෑ. උස නම් සිකියුරිටි, මිටි නම් කම්කරු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන විපක්ෂනායකතුමාටරටේ අනාගතය භාර දුනොත් රට හා දරුවන්ගේ අනාගතය ගැන කතා කරන්න දෙයක් නැති වෙනවා. මේ රට භාර දෙන්න පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා පමණයි.”
“රටට ආදරය කරන මිනිස්සු අපිව හැමදාම හදුන්වන්නේ උපන්ගෙයි ශ්‍රී ලංකාකාරයෝ කියලා. අපි එදා 2015 මහින්ද මහත්තයා පැරදුණාම සඝ,වෙද, ගුරු, ගොවි, කම්කරු කියන අපේ පංච මහා බලවේගය ඒකරාශී කරන්න බලාපොරොත්තු ඇතුව තමයි පොහොට්ටුව නිර්මාණය කළේ. පොහොට්ටුව ආරම්භ කරලා පොහොට්ටුව එක්ක වැඩ කරලා රටේ පළාත් පාලන මැතිවරණය, ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණ අපි ජයග්‍රහණය කළා. පළාත් පාලන මැතිවරණයෙන් අපි 90% ක් ජයග්‍රහණය කළා. ජනාධිපතිවරණයෙන් හැටනව ලක්ෂයක් ජනතාව බොහෝම විශ්වාසයෙන් ජාතික ආරක්ෂාව ගැන සළකලා ගෝඨාභය මැතිතුමාව ජයග්‍රහණය කළා. පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් අපිට තිබුණා. වැඩ ආරම්භ කරනකොටම ඇතිවුණු කොවිඩ් වසංගතයත් එක්ක ආර්ථික අර්බුධයක් ඇති වුණා. ආණ්ඩුවක් හැටියට අපිට පුළුවන්කමක් තිබුණේ නෑ ආර්ථිකය ගොඩගන්න.
එදා කැබිනට්ටුවේ අපි හිටියා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා හිටියා. අගමැති මහින්ද රාජපක්ෂ මහත්තයා හිටියා. මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහත්තයා හිටියා. නාමල් රාජපක්ෂට ඇමතිකම් 05 ක් එක්ක අමාත්‍යධූරයක් තිබුණා. චමල් ඇමතිතුමත් හිටියා. අපේ කැබිනට්ටුවේ 1/5 ක් හිටියා රාජපක්ෂවරු. මමත් ඒ කැබිනට් එකේ හිටියා. එදා පංච මහා බලවේගය එකතු කරන්න ගිය අපිට ඒක කරන්න බැරි උනා. වෙන අය තමයි උපදෙස් දුන්නේ.
අපේ ආණ්ඩුව කඩාවැටිලා දේශපාලන අස්ථාවරභාවයක් ඇති උනා. ඒකට තව හේතු බලපෑවා. මතක ඇති ජනතා විමුක්ති පෙරමුණ කිව්වා ලංකාවට සල්ලි එවන්න එපා කියලා. හොරු කියලා හැමෝටම බැන්නා. මිනිස්සු අතර බොරුව වැපිරුවා. රට පාරට ඇදලා දාන විදියට වැඩ කරලා දේශපාලන අස්ථාවරභාවයක් ඇති කළා. අපි ආණ්ඩුවෙන් අයින් උනා. නමුත් අපි ආරාධනා කළා. විපක්ෂ නායකතුමාට රට භාරගන්න කියලා. කොන්දේසි විරහිතව උදව් කරන්නම් කිව්වා. ආණ්ඩු වට්ටන්න පුළුවන්. රාජ්‍ය වට්ටන්න බැරි නිසයි එහෙම කළේ. හැමෝම භාරගන්න බැහැයි කියනකොට භාරගත්තේ රනිල් වික්‍රමසිංහ මහත්තයා විතරයි.
එදා විපක්ෂය සාකච්ඡා කරලා කිව්වා රට තියෙන්නේ අමාරු තැනක අපිට මේක භාරගන්න බෑ කියලා. අපි නෙවේ කියන්නේ හර්ෂ ද සිල්වා ට්විටර් පණිවිඩයක් ම දාලා තිබුණා. එහෙම තිබුණ රටක් භාරගත්තේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. කොරෝනා විතරක් නෙවෙයි. මේ රටේ හෙල්මට් කල්ලිය ගෙවල් ගිනි තියලා මින්සුසු මරලා එහෙම තත්ත්වයකට පත් කළා. එයාලට වෙනම ඡන්දය ඉල්ලන්න පුළුවන් උනේ රනිල් මේ රට භාරගත්ත නිසා. එහෙම නොවුණානම් ගොඨාභය මහත්තයා, මහින්ද මහත්තයා අහු උනානම් මොකද කරන්නේ?. අමරකීර්තිට උන දේම තමා වෙන්නේ. ඒ නිසා තමයි ආණ්ඩුවේ ඉන්න අපි බහුතරයක් කීවේ රට ගොඩගත්ත නායකයාට සහය දෙමු කියලා. ආර්ථික අර්බුධයේදී ලෝකයම අපිව බංකොළොත් රටක් කියලා කියනකොට ඒ බංකොළොත්භාවයෙන් මුදවාගන්න කටයුතු කළේ කවුද කියලා අමතක කරන්න එපා. අපි තෙල්, ගෑස් පෝලිම්වල හිටියා. පොඩි ළමයට කිරිපිටි පැකට් එකක් ගන්න බැරිව හිටියා. ගෑස් සිලින්ඩරයක් හොයාගන්න බැරිව හිටපු රටක රටේ ආර්ථිකය නැවත ගොඩනගන්න කටයුතු කලේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. යුද්ධය දිනපු නායකයා විදියට මහින්ද මහත්තයාට ගරු කරනවා වගේම මේ රටේ සමස්ත ජනතාව බේරාගත් නායකයා රනිල් වික්‍රමසිංහ කියන එක අපි අමතක කරන්න හොද නෑ.
මේ අත්හදා බැලීමට කාලයක් නෙමෙයි කියලා අද මිනිස්සු කියන්න අරන් තියෙනවා. මේ වසර දෙක තුළ ගෙනා ආ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළේ රනිල් මහත්තයයි. ඒක වෙන කෙනෙකුට භාර දුන්නොත් වෙන්නේ 2019 වසරේදී ගෝඨාභය ගෙනල්ලා කරගත්තට වඩා අමාරු දෙයක්. මම රනිල් වික්‍රමසිංහ මහත්තයාට විරුද්ධව හිටපු කෙනෙක්. අපි පක්ෂයට වඩා රටට ආදරය කරන මිනිස්සු. ඒ නිසයි රට වෙනුවෙන් නායකත්වයක් වෙනුවෙන් අපි පෙනී සිටින්න තීරණය කළේ.