කාන්තාවන්ගේ පිළිකා අවදානම පිළිබඳ විශේෂ නිවේදනයක්

දිනකට නව පිළිකා රෝගීන් 100කට ආසන්න ප්‍රමාණයක් සොයාගැනෙන බව ජාතික පිළිකා වැඩසටහන අවධාරණය කර තිබෙනවා.
එම වැඩසටහන පවසන්නේ, ක්ෂණික ආහාර, විවිධ බීම වර්ග වැනි දෑ වක්‍රාකාරයෙන් පිළිකා රෝගීන් වර්ධනයට හේතුවක්වී ඇති බවයි.
2020 වසර දක්වා සිදු කළ සමීක්ෂණවලට අනුව දිනකට පිළිකා රෝගීන් 100කට ආසන්න ප්‍රමාණයක් සොයාගන්නා බව ජාතික පිළිකා පාලන වැඩසටහන හෙළිදරව් කරනවා.
ඒ අනුව සඳහන් වන්නේ, වසරකට පිළිකා රෝගීන් 35,000ත් 40,000ත් අතර ප්‍රමාණයක් වාර්තා වන බවයි.
පිරිමි පුද්ගලයන් අතර බහුලව ඇති වන පිළිකා ලෙස මුඛ ආශ්රිත පිළිකා, ශ්වාසනාල සහ පෙනහළු ආශ්රිත පිළිකා, බඩවැල් සහ ගුද මාර්ගය ආශ්රිත පිළිකා, පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිතව ඇති වන පිළිකා පෙන්වා දිය හැකියි.
කාන්තාවන් අතර වැඩිවශයෙන් දක්නට ලැබෙන්නේ පියයුරු පිළිකා වන අතර තෛරොයිඩ් ග්‍රන්ථිය ආශ්රිත පිළිකා, බඩවැල් සහ ගුද මාර්ගය ආශ්රිත පිළිකා, ගර්භාෂය ආශ්රිත පිළිකා සහ ඩිම්බකෝෂ ආශ්රිත පිළිකා කාන්තාවන්ට අතර දක්නට ලැබෙන බව වාර්තා වනවා.
වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ, පිරිමි පුද්ගලයන්ට සාපේක්ෂව කාන්තාවන් පිළිකා රෝගයට ගොදුරු වීමේ සම්භාවිතාවක් පවතින බවයි.
වෛද්‍යවරුන් පවසන්නේ, කාන්තාවන් අතර බහුලව පිළිකාව ඇතිවීමට හේතුවක්වී ඇත්තේ, විවිධ ආලේපන වර්ග භාවිතයෙන් පසු සමෙහි ඇති වන රෝගී තත්ත්වයන් බවයි.
මේ අතර, වසරකට ළමුන් 750ත් 800ක් වැනි පිරිසක් පිළිකා රෝගීන් බවට ගොදුරු වීම ඛේදනීය තත්ත්වයක් බව වාර්තා වන අතර සැප්තැම්බර් මාසය ජාත්‍යන්තර වශයෙන් ළමා පිළිකා මාසය ලෙස නම් කර තිබෙනවා.
වෛද්‍යවරුන් පෙන්වාදෙන්නේ, දරුවන්ට ලබාදෙන ක්ෂණික ආහාර, විවිධ බීම වර්ග වැනි දෑ වක්‍රාකාරයෙන් පිළිකා රෝගී තත්ත්වයක් වර්ධනය වීම දක්වා හේතුවක් වී ඇති බවයි.