ද. ආසියාවෙන් අධ්‍යාපනයට කුඩම්මාගේ සැලකිලි වැඩිම රට ශ්‍රී ලංකාවයි – UNICEF

ශ්‍රී ලංකාව අධ්‍යාපනය සඳහා සිය දළ දේශීය නිෂ්පාදිතයෙන් 2%කට වඩා අඩු ප්‍රමාණයක් වෙන් කර ඇති අතර ,එය ජාත්‍යන්තර දළ දේශීය නිෂ්පාදිතයෙන් 4-6% වන ජාත්‍යන්තර මිණුම් ලකුණට වඩා බෙහෙවින් අඩු මට්ටමක පවතින බව එක්සත් ජාතීන්ගේ අන්තර් ජාතික ළමා අරමුදල (UNICEF) පෙන්වා දෙනවා.
එය දකුණු ආසියාවේ පහළම අගයන් අතර වෙනවා.
පසුගිය වසර තුනක කාලය තුළ දීර්ඝ කාලීනව පාසල් වසා දැමීම් සහ ඔවුන්ගේ අධ්‍යාපනයට වරින් වර බාධා කිරීම් නිසා, විශාල ලෙස මෙය බලපා ඇත්තේ ප්‍රාථමික පාසල් ළමුන්ට වන අතර, ඒ හේතුවෙන් පීඩාවට පත් වූ ප්‍රාථමික පාසල් ළමුන් මිලියන 1.6 කට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සදහා උපකාර කිරීමේ ජාතික වැඩසටහනක් අධ්‍යාපන අමාත්‍යාංශය සහ UNICEF විසින් දියත් කරනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙහෙයවන ලද ජාතික තක්සේරුවකට අනුව, 3 ශ්‍රේණියේ ළමුන්ගෙන් 85%ක් සාක්ෂරතාවය සහ ගණිතය පිළිබද අවම ප්‍රවීණතාවයක්වත් ලබා නොගන්නා බව, යුනිසෙෆ් සංවිධානය අනාවරණය කරනවා.
අමාත්‍ය ප්‍රේමජයන්ත මහතා උත්සවයක් අමතමින් කියා සිටියේ, අධ්‍යාපනය සඳහා ජාතික අයවැය ප්‍රතිපාදන වැඩි කිරීමේ හදිසි අවශ්‍යතාවයක් පවතින බවත්, ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන්ගේ මූලික ඉගෙනීම ඉහළ නැංවීමට අවශ්‍ය වන බවත්, ශක්තිමත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සහතික කිරීමට අවශ්‍ය බවත් ය.
රටේ සංවර්ධනය සඳහා මානව සම්පත් කුසලතාද අවශ්‍ය බව, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහිදී වැඩිදුරටත් පැවසුවා.
ඉගෙනීමේ අර්බුදය වඩාත් බලපා ඇත්තේ රටේ ප්‍රාථමික ශ්‍රේණිවල සහ වතුකරයේ සිටින කුඩා දරුවන්ට බව, යුනිසෙෆ් සංවිධානය පෙන්වා දෙනවා.