විදේශ කටයුතු ඇමති අලි සබ්‍රි ලන්ඩනයට

22 වන පොදුරාජ්‍ය මණ්ඩලයීය විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ රැස්වීමට (CFAMM) විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි සහභාගි වීමට නියමිතව තිබෙනවා.
මාර්තු 15 වන දා ලන්ඩනයේ මල්බරෝ හවුස්හි පිහිටි පොදුරාජ්‍ය මණ්ඩලයීය මූලස්ථානයේදී මෙම රැස්වීමට පැවැත්වීමට නියමිත අතර විදේශ කටයුතු අමාත්‍යවරයා මෙම රැස්වීමට පෙර මාර්තු 13 වන දා පොදුරාජ්‍ය මණ්ඩලයීය දින සැමරුම් උළෙලට ද සහභාගි වනු ඇති.
පොදුරාජ්‍ය මණ්ඩලයීය සාමාජික රටවල් එක්සත් කිරීමේ වටිනාකම් සහ අභිලාශ ගෙන හැර දක්වන පොදුරාජ්‍ය මණ්ඩලයීය ප්‍රඥප්තියට අත්සන් තබා වසර 10ක් සපිරීමේ සංවත්සරය ද එදින සනිටුහන් කෙරෙනු ලබනවා .
මෙම වටිනාකම් සංකේතවත් කරන “the Commonwealth of Nations Flag for Peace” නමැති මුලපිරීමට සාමාජික රාජ්‍යයන් මෙහිදී සිය සහය පළ කරනු ඇත.
තව ද මෙම අවස්ථාවට සහභාගි වන විදේශ කටයුතු අමාත්‍යවරුන් වෙනුවෙන් තුන්වන චාල්ස් රජු විසින් සංවිධානය කරනු ලබන උත්සවයකින් මෙම වැඩසටහන අවසාන කෙරෙන බව සඳහන්.
විදේශ කටයුතු අමාත්‍යවරුන් මෙවර රැස්වීම හරහා සාමකාමී සහ තිරසාර සමාජ තුළ ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීමේ අවශ්‍යතාව, පාරිසරික තිරසරභාවය සඳහා දේශගුණික මූල්‍යකරණය, ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම, ආහාර සහ බලශක්ති සුරක්ෂිතතාව සඳහා අන්තර්-පොදු රාජ්‍ය මණ්ඩලයීය වෙළෙඳාම සහ ඩිජිටල් සම්බන්ධතාව ඉහළ නැංවීම හා සබැඳි පොදු අභියෝගවලට ඒකාබද්ධ ප්‍රතිචාර දැක්වීම සඳහා කටයුතු කරනු ලබනවා.
අමාත්‍යවරයා මීට සමගාමීව විදේශ පොදුරාජ්‍ය මණ්ඩලයීය සංවර්ධන කටයුතු (FCDO) පිළිබඳ රාජ්‍ය ලේකම් ජේම්ස් ක්ලෙවර්ලි මහතා හමුවීමට නියමිතයි.
එමෙන් ම පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් (රජුගේ නීතිඥ) මැතිනිය, ඉන්දු – පැසිෆික් කලාපයේ පොදුරාජ්‍ය මණ්ඩලයීය සංවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය ඈන් මාරි ට්‍රෙව්ලියන් මැතිනිය සහ අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා වෙළෙඳ නියෝජිත ඇබර්සොක්හි මර්වින් ඩේවිස් සාමිවරයා සමග ද ද්විපාර්ශ්වික රැස්වීම් පැවැත්වීමට නියමිත ය.
අලි සබ්‍රි මහතා මෙම ලන්ඩන් සංචාරය අතරතුර රුවන්ඩාව, කෙන්යාව, පකිස්තානය සහ මැලේසියාව යන රටවල විදේශ කටයුතු අමාත්‍යවරුන් සමග ද්විපාර්ශ්වික සාකච්ඡාවල ද නිරත වනු ඇත.