දේශීය

විපක්ෂයෙන් තවත් දෙන්නෙක් රනිල්ට

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන සාරතී දුෂ්මන්ත හා අංගජන් රාමානාදන් යන මහත්වරුන් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට එක්වී තිබෙනවා.

මෙම මන්ත‍්‍රීවරුන් දෙදෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනයේ මෛත‍්‍රි පිල නියෝජනය කරමින් මෙතෙක් කටයුතු කළා.

ඔවුන් අද (23) පෙරවරුවේ කොළඹ මල් පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයේ ජනාධිපතිවරයා හමුවී මේ පිළිබඳ නිල වශයෙන් දැනුම් දී තිබුණා.

අනතුරුව විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔවුන් පෙන්වා දුන්නේ ආර්ථික අර්බුදයට ප්‍රායෝගික විසඳුම් ලබාදිය හැකි නායකයෙකුගේ අවශ්‍යතාවය හෙට දවසේද රට හමුවේ ඇති බවයි.

අත්හදා බැලීම් සිදු කිරීමට කිසිසේත් අවස්ථාවක් නොමැති බවත් රටේ සහ ජනතාවගේ අනාගතය වෙනුවෙන් මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැප වන බවත් ඔවුන් එහිදී පැවසුවා.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ පිරිසිදු දේශපාලන ගමනකට තමන්ට අවස්ථාව උදා වී ඇති බව ද ඔවුන් වැඩිදුරටත් පෙන්වාදුන්නා.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර යන මහත්වරු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button