නාමල්ගේ අපේක්ෂකත්වය ගැන චන්ද්‍රසේන දුකින්

පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට තරඟ වැදීමට නාමල් රාජපක්ෂ මහතා ගත් තීරණය කාලෝචිත නොවන එකක් බවත් ඔහු එම තීරණයට ඉක්මන් වූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසනවා.
ඔහු පවසන්නේ, නාමල් රාජපක්ෂ මහතා ගත් තීරණය දේශයට සහ කාලයට හොඳ නැති එකක් බවයි.
මන්ත්‍රිවරයා මේ බව කියා සිටියේ, අනුරාධපුර මාතලේ හන්දිය,කුරුන්දන්කුලම ඒ මහතාගේ නිවසේදී පැවති මාධ්‍ය හමුවකදීයි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ එස්.එම්.චන්ද්‍රසේන මහතා,
“නාමල් මහත්තයා කලබල වුණා, හදිස්සි වුණා වැඩියි. බුදුරජාණන් වහන්සේ උත්පත්තිය ලබන්න පෙර පස්මහ බැලුම් බැලුවා. විශේෂයෙන්ම දේශය සහ කාලය ගැන බැලුවා.මේ වේලාවේ නාමල් රාජපක්ෂ මහත්තයාගේ ගමනට දේශයත්,කාලයත් දෙකටම හොද නැහැ.
“නාමල් රාජපක්ෂ මහත්තයාට ඔයිට වඩා කල්පනාවෙන් ගමන යන්න තිබුණා. පළමුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයාට උදව් කරලා මහමැතිවරණයේදි අගමැති අපේක්ෂකයා විදියට ඉදිරිපත් වෙන්න තිබුණා,පොහොට්ටුවෙන්. ඒවා ඔක්කොම අතහැරලා ඉතාම දුෂ්කර මාර්ගයකට නාමල් රාජපක්ෂ මහත්තයා අවතිර්ණය වේලා තියෙනවා. මම ඒ පිලිබද ඉතාමත්ම කණගාටු වෙනවා.
“පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා විදියට ධම්මික පෙරේරා එනවා කියලා තමයි අපිට ඉස්සරලා කියුවේ. අපිටත් එන්න කියලා කතා කළා,ඒ වුනාට නාමල් රාජපක්ෂ මහත්තයා පොහොට්ටුවෙන් මෙවර ජනාධිපති අපේක්ෂකයා ලෙසට නම් කරලා තියෙනවා. කොහොම වුණත් ධම්මික පෙරේරා පොහොට්ටුවට පොල්ල තිබ්බා කියලා නම් ඉතාමත්ම පැහැදිලියි.”