සමහර අය රඟපානවා,එහෙත් ඉන්නවා මෙහාටත් එනවා – ජොන්ස්ටන්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කවුරු ගියද ඡන්දදායකයන් පක්ෂය හැර නොයන බවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හැර කවුරු පක්ෂය හැර ගියත් ඔවුන්ට ඡන්ද රැගෙන යා නොහැකි බවත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.
ඒ මහතා පවසන්නේ, ඇතැම් අය ජනාධිපතිවරණයේ රංගනයේ යෙදෙන බවත් ජනාධිපතිවරණයට අදාල ප්‍රචාරණ කටයුතු තවමත් ආරම්භ කර නොමැති බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 92 ක් පක්ෂයේ තීරණයට විරුද්ධ වී නොමැති බවත් එම පිරිසේ සමහරුන් මෙහෙත් සිටිමින් රඟපෑමක් කරන බවයි ඔහු පවසන්නේ.
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව කියා සිටියේ, කොළඹදී ජනමාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින්.
රනිල් වික්‍රමසිංහ මහතා ළගට ගොස් සිටින අයත් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පිංතුරය ගහගෙන පාර්ලිමේන්තුවට ආපු අය බවත් ඔවුන් ගමට ගොස් මහින්ද මහතා අගමැති කිරීමට ප්‍රාදේශීය සභා අපේක්ෂකයට ඡන්දය දීමට පැවසූ අය බවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද පදනම මහින්ද රාජපක්ෂ මැතිතුමා මත තිබීම නිසා ජනතාව පක්ෂය හැර නොයන බවත් ගිය අය ඡන්ද 200 ක්, 500 ක් හෝ 1000 ක් ගෙනියනු ඇති බවයි ඔහු පවසන්නේ.
කවුරු පක්ෂයෙන් ගියද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොවැටෙන බවත් ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරු තුනක් තියාගෙන රටක් කළඹන බවද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.
එමෙන්ම වැඩි ඡන්ද ලක්ෂ 15 ක් ලබා ගෙන, අලුත් ඡන්ද ගැනීමට හැකි ජනාධිපති අපේක්ෂකයා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා,
” සම්පූර්ණ බොරු 92ක් කොහෙද එතන හිටියේ, 92ක් ඇත්තෙත් නෑ. බොරු ගාණක් දීලා තියෙන්නේ,මෙහෙ ඉන්න අයත් එහේ ඉන්නවා. ආණ්ඩු පක්ෂයේ රැස්වීමක්නේ තිබිලා තියෙන්නේ.සමහර අය රඟපානවා. ඒක ඉතිහාසයේ වෙලා තියෙනවනේ.එහෙ ඉන්නවා මෙහාට එනවා. ඒ ගැන කලබල වෙන්න දෙයක් නෑ.
අපි අවශ්‍ය වෙලාවට අවශ්‍ය වැඩේ හරියට කරනවා.මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හැර හරි කවුරුගියත් මේකේ ඡන්දේ ගෙනියන්න බෑ. මේ ඔය ඔක්කෝම හිටිය අය මහින්ද රාජපක්ෂතුමාගේ පින්තූරේ ගහන් තමයි පාර්ලිමේන්තුවට ආවේ. ප්‍රාදේශීය සභා මැතිවරණයේදීත් ගමට ගිහිල්ලා කිව්වේ මහින්ද මහත්තයව අගමැති කරන්න ප්‍රාදේශීය සභා අපේක්ෂක ඡන්දේ දෙන්න කිව්වා. මහින්ද මහත්තයා අගමැති උනේ නෑනේ, එහෙම තමයි යතාර්ථය. මේ පක්ෂයේ පැවතෙන්නේ, තියෙන්නේ, රදා පැවතෙන්නේ,චන්ද පදනම තියෙන්නේ,මහින්ද රාජපක්ෂ මහත්තයා නිසා.ඒක අපි පිළිගන්න ඕනේ දෙයක්. පක්ෂයේ කවුරු ගියත් මේ පක්ෂයේ ඉන්න ජනතාව යන්නේ නෑ. ඒ ගියොත් ඡන්ද 200ක් 500ක් 1000ක් ගෙනියයි. ඒ හින්දා බහුතරයක් ඡන්ද දායකයින් ඉන්නේ පක්ෂය සමග. ඒක තමයි ඇත්ත තත්වය. ඉතින් කවුරු ගියත් මේ පක්ෂේ වැටෙන්නේ නෑ“