දේශීය

අහිතකර දුම් පිටවන වාහනවලට වැඩ වරදී

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා.

එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ මහතා සඳහන් කළේ, මහජනතාවගෙන් ලැබුණු පැමිණිලිවලට අනුව අදාළ වාහන අසාදු ලේඛන ගත කර ඇති බවයි.

යම් වාහනයක් අහිතකර ලෙස දුම් පිටකරමින් මාර්ගයේ ධාවනය වන්නේ නම් 070 3500 525 යන වට්ස්ඇප් අංකයට ඡායාරූපයක් හෝ වීඩියෝවක් යොමුකර විස්තර ලබාදෙන ලෙසත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දසුන් ගමගේ මහතා,

“මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුව හඳුන්වා දුන්නා වට්ස්ඇප් දුරකථන අංකයක් ජනතා සහභාගීත්වය තහවුරු කරන්න. අධික දුම් පිටවෙන වාහනයක් යනවා නම් ස්ථානය, වේලාව, දිනය සහ වාහන අංකය සඳහන් කර වට්ස්ඇප් අංකයට ඡායාරූපයක් හෝ වීඩියෝ පටයක් ලබාදෙන්න කියලා. එවිට අදාළ වාහනහිමියන්ට කැඳවීමක් කරනවා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු දිස්ත්‍රික් කාර්යලයකට ගෙනත් පෙන්වන්න කියලා. එතැනදීත් ප්‍රතිචාර නැත්නම් වාහනය අසාදු ලේඛනගත වෙනවා. පසුගිය වසරේ 1800ක් විතර පැමිණිලි ලැබුණා. ඉන් කැඳවීම් කරලා අවසාන වශයෙන් අසාදු ලේඛනගත කළේ 200ක් වගේ. මේ අවුරුද්දේ 517ක් තොරතුරු ලැබිලා තියෙනවා එයින් 93ක් පමණ අසාදු ලේඛන ගත කළා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button