ශ්‍රීලනිප අර්බුදයට අදාළ තවත් නඩුවක නියෝගය කල් ගිහින්

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලට මැදිහත්වීමට අවසර දෙන ලෙස අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විසින් කළ ඉල්ලීම සම්බන්ධයෙන් තීරණයක් ලබා දෙන තුරු එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අත්හිටුවන්නේ ද? නැද්ද? යන නියෝගය හෙට (24) දින ප්‍රකාශයට පත් කරන බව කොළඹ දිසා අධිකරණය අද (23) නියෝග කළා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ලෙස කටයුතු කළ තමාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට එම පක්ෂය ගනු ලැබූ තීරණයට එරෙහිව දයාසිරි ජයසේකර මහතා විසින් එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.
මෙම නඩුවේ අතුරු ඉල්ලීම් පිළිබඳ නියෝගය අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.
නමුත් අදාල නඩුව අද දින කැඳවනු ලැබූ අවස්ථාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ශාන්ත ජයවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ මහ ලේකම් දුමින්ද දිසානායක යන වෙනුවෙන් මෙම පෙත්සමේ විත්තිකරුවන් ලෙස නම් කරනු නොතිබීම විශාල ඌණතාවයක් බව සඳහන් කළා.
ඔවුන් වගඋත්තරකරුවන් වශයෙන් නම් නොකිරීම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම නඩුකරය තුළ සම්පූර්ණයෙන්ම නියෝජනයවීමක් සිදු නොවන බවත් පෙන්වා දුන් නීතිඥ ශාන්ත ජයවර්ධන තම සේවාදායකයා මෙම නඩුකරයේ විත්තිකරුවකු ලෙස නම්කර ඔහුට කරුණු දැක්වීමට අවසර දෙන ලෙසත් ඉල්ලා සිටියා.
එම ඉල්ලීම්වලට විරෝධය පළ කළ වගඋත්තරකාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු මහලේකම් සරත් ඒකනායක යන වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දසුන් නාගස්සේන කියා සිටියේ මෙම නඩුව පවරා මේ වන විට වසරකට වැඩි කාලයක් ගත වී තිබෙන බවත් එතෙක් මෙම නඩුකරය කෙරෙහි උනන්දුවක් නොදැක්වූ ලසන්ත අලගියවන්න මහතා අවස්ථාවේදී ඊට මැදිහත්වීමට අවසර ඉල්ලීම ගැටළු සහගත බවයි.
එම නිසා ලසන්න අලගියවන්නගේ ඉල්ලීම ඉවත දමා නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ලසන්ත අලගියවන්නගේ ඉල්ලීම පරිදි නඩු විභාගය අත්හිටුවන්නේ ද? නැද්ද? යන නියෝගය හෙට දින ප්‍රකාශයට පත් කරන බවත් නිවේදනය කළා.