දේශීය

ගුරුවරු සති දෙකක් අකුරට වැඩ

විදුහල්පතිවරුන් හා ගුරුවරුන් ලබන සඳුදා (ජූලි 22) සිට සති දෙකක කාලයක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසනවා.

එම කාලය තුළ පන්ති කාමරවල ඉගැන්වීමේ කටයුතුවලට පමණක් සම්බන්ධ වන බව​ත් රැස්වීම්, සේවා සැසි, ලිපි ලේඛන පිරවීම වැනි සියලු බාහිර කටයුතුවලින් ඉවත් වන බව​ත් ඒ මහ​තා සඳහන් කළා.

ඔහු පවසන්නේ, ගුරු-විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවට විසඳුම් නොදීම, පසුගිය 8, 9 වර්ජනයට සහාය නොදැක්වූ රජයේ සේවකයන්ට රුපියල් 10,000ක් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කිරීම සහ ආණ්ඩුව ගුරු, විදුහල්පතිවරුන් ත්‍රස්තවාදීන් වශයෙන් හැඳින්වීමට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි.

පාසලින් බැහැර පළාත්, අමාත්‍යංශ, කොට්ඨාස හා කලාප කාර්යාලවල ප්‍රධානීන්ගේ මූලිකත්වයෙන් පවත්වා ගෙන යන වට්ස්ඇප් සමූහයෙන් සියලු ම විදුහල්පතිවරුන් ඉවත්වන බවද ස්ටාලින් මහතා පවසනවා.

එමෙන්​ම, සියලු ම විෂය අධ්‍යක්ෂවරුන් පවත්වා ගෙන යන වට්ස්ඇප් සමූහවලින් ගුරුවරුන් හා ගුරු උපදේශකයන් ඉවත් වන බව​ත් කොට්ඨාස, කලාප, පළාත් හා අමාත්‍යංශ අධ්‍යාපන බලධාරීන් කැඳවන සියලුම රැස්වීම්වලට සහභාගී නොවන බව​යි ඔහු පවසන්නේ.

එමෙන්​ම දේශපාලන අධිකාරියේ සහභාගීත්වය ඇති උත්සවවලට සහභාගී නොවන බවත්, එවැනි උත්සවවලට පාසල් සිසුන් සම්බන්ධ කිරීමේ කටයුතුවලින් ගුරු, විදුහල්පතිවරුන් ඉවත්වන බවත් ඔහු ප්‍රකාශ කළා.

පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු හා කලාප අධ්‍යාපන කාර්යාල නියම කරන වැඩමුළු, තත්ත්ව කව මෙන්ම පුහුණු වැඩසටහන්වලට සහභාගී නොවන බවද ජෝසෆ් ස්ටාලින් මහතා පවසනවා.

ඔහු පවසන්නේ, ජාතික හැඳුනුම්පත් සකස් කිරීම, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සිදු කරන එන්නත්කරණය, සෞඛ්‍ය කඳවුරු, ඖෂධ බෙදා දීම වැනි කටයුතුවලින් ඉවත්වන බවත් භාණ්ඩ සමීක්ෂණ, සංගණන කටයුතු, ගුණාත්මක සංවර්ධන දර්ශක ගොනු පවත්වා ගැනීමේ කටයුතුවලින් ද ඉවත්වන බවයි.

පාසලට බාහිර සියලු ආයතනවලින් ඉල්ලා සිටින වාර්තා සකස් කිරීම හා සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කිරීමේ කටයුතුවලින් ඉවත්වන බව පැවැසූ ප්‍රධාන ලේකම්වරයා සවස 1:30න් පසුව සති අන්ත නිවාඩු දිනවලදී අතිරේක හා ස්වේච්ඡා ඉගැන්වීමේ කටයුතුවලින් ඉවත් වන බවද සඳහන් කළා.

ඒ අනුව, සති අන්තයේ යොදාගෙන ඇති ක්‍රීඩා, සෞන්දර්ය හා විෂය බාහිර තරඟවල​ට ගුරු, විදුහල්පතිවරුන් සහභාගී නොවන බවත් බාලදක්ෂ, ශිෂ්‍ය භට, පරිසර නියමු, සෞඛ්‍යදාන හා ක්‍රීඩා පුහුණු කටයුතු වැනි විෂය බාහිර කටයුතුවලින්ද ඉවත් වන බවත් ජෝසෆ් ස්ටාලින් මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button