සුරාබදු ලොක්කන් තෝරා ගැනීමේදී අක්‍රමිකතා රැසක් හෙළිවෙලා?

සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරුවලට නිලධාරින් තෝරා ගැනීම සඳහා පවත්වා තිබෙන විභාගයක් නීතියට පටහැනි ලෙසත් එය අක්‍රමිකතා රැසකින් සමන්විත ලෙසත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් සිදුකළ විමර්ශනයකදී තහවුරු වී තිබෙනවා.
එම නිසා විභාගය සමතුන්ට ලබාදී ඇති පත්වීම් අනීතික බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව සදහන් කර තිබෙනවා.
සුරා බදු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ, එම විභාගයෙන් තෝරා ගන්නා ලද නිලධාරීන් මේ වන විට සුරාබදු අධිකාරීන් සහකාර කොමසාරිස්වරුන් සහ නියෝජ්‍ය කොමසාරිස්වරුන් වශයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ සේවය කරන බවයි.
මීට පෙර සේවය කරන ලද සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයකු යටතේ එම විභාගය පවත්වා ඇතැයිද එම විභාගය අක්‍රමිකතා රැසකින් සමන්විත වූ ඇති බවද රාජ්‍ය සේවා කොමිෂන් සභාව සිදුකළ එම විමර්ශනයේදී හෙළි වී ඇති බවයි එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
මේ අතර සුරාබදු දෙපාර්තමේන්තුවට මත්පැන් ආයතන වලින් අයවිය යුතු බදු මුදල රුපියල් කෝටි 700 ක් පමණ වන බවද පවසනවා.