දේශීය

IMF එකෙ​න් ලංකාවට සුබ ආරංචියක්

මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහන පිළිබඳව ඉදිරි මැතිවරණයේදී බලයට පත්වන දේශපාලන පක්ෂයට වෙනත් මතයක් තිබුණහොත් එය ඇහුම්කන්දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානම් නමුත් එලෙස ඉදිරිපත් කරන මත යථාර්තවාදී විය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් මහතා පවසනවා.

ඒ මහතා මේ බව සඳහන් කළේ, අද (14) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අනතරතුරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට ගරු කරන බවත් මීළඟ මැතිවරණයේදී බලයට පත් කරගන්නේ කවුරුන්ද යන වග ශ්‍රී ලාංකිකයන් තීරණය කළ යුතු බවත් පීටර් බෘවර් මහතා පවසනවා.

ඔහු පවසන්​නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සියලු දෙනාගේ මත වලට ඇහුම්කන්දීමට සූදානම් නමුත් එම මත යථාර්තවාදී වියයුතු බවයි.

කිසිඳු විටෙක වර්තමානයේ ක්‍රියාත්මක බදු ප්‍රතිපත්තිය වෙනස් කළ නොහැකි බව බෘවර් මහතා සඳහන් කළා.

1980 දශකයේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් 20% ක්වූ රජයේ ආදායම 2022 වනවිට 8% ක් දක්වා පහත වැටී ඇතැයි ඔහු පෙන්වා දුන්නා.

බදු අඩුකිරීමෙන් ඇති වූ බලපෑම මේ වනවිට පෙනෙන්ට තිබෙන බවත් ශ්‍රී ලංකා ඉතිහාසයේ ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයටද එය එක් හේතුවක්වූ බවත් පීටර් බෘවර් මහතා ප්‍රකාශ කළා.

මෙරට ආර්ථිකය ගොඩ ගැනීම සඳහා රජයේ ආදායම ඉහළ දැමීම අත්‍යාවශ්‍ය කරුණක් බවත් ඒ හේතුවෙන් මෙරට ලබාදී ආධාර වැඩසටහන යටතේ රජයේ ආදායම ඉහළ දැමීම පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධානය යොමුකළ බවත් ඔහු පෙන්වා දුන්නා.

නැගී එන වෙළඳපොළක් ඇති සහ මැදි අදායම් ලබන රටවල රජයන්හි ආදායම සාමාන්‍යයක් ලෙස දළ දේශීය නිෂ්පාදිතයෙන් 26% ක් වුවත් එම කාල සීමාව තුළදී මෙරට රජයේ අදායම 9.3% ක් බව පීටර් බෘවර් මහතා පවසනවා.

පීටර් බෘවර් මහතා ප්‍රකාශ කළේ, ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුමට බලපෑමක් එල්ල විය හැකි බවත් විශේෂයෙන්ම ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමේදී සහ ආධාර වැඩසටහනේ කාල සීමාව පිළිබඳ ගැටළු ඇතිවීමට ඉඩ තිබෙන බවයි.

මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සියලුම නිල ණය හිමියන්ට විනිවිදභාවයකින් යුතුව එක සමාන අයුරින් සැලකිය යුතු වුවත් එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අදාළ කාරණයක් නොවන බවද ඔහු පැවසුවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට වැදගත් වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඉලක්ක ශ්‍රී ලංකාව සපුරා තිබෙනවාද නැද්ද යන්න බව බෘවර් මහතා ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ප්‍රමාණවත් ප්‍රගතියක් ලබා තිබෙන බවත් ඉතාමත් ඉක්මනින් ශ්‍රී ලංකාව චීනය සහ නිල ද්වි පාර්ශ්වික ණය හිමියන් සමඟ අවබෝධතා ගිවිසුම්වලට එළඹෙනු ඇති බවත් ඔහු සඳහන් කළා.

එම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් කට්සියරීනා සිව්රිඩ්සෙන්කා ප්‍රකාශ කර සිටියේ, ඇතැම් රාජ්‍ය ව්‍යවසායන් මහජන මුදල් වලට බරක් වී තිබෙන බවත් ඒවා විනිවිදභාවයකින් යුක්තව කාර්යක්ෂම අයුරින් ක්‍රියාත්මක විය යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button