දියතලාව අනතුරින් තුවාල ලැබූ පාසල් සිසුවිය ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරඟය අතරතුර සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඇය බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියා.
මෙලෙස ජීවිතක්ෂයට පත් වුණේ, දියතලාව පොලිස් වසමේ ගල්ඒදණ්ඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි සත්දරණී කාවිෂ්කා නම් පාසල් සිසුවියක්.
ඇයගේ මෘත ශරීරය මේ වනවිට බදුල්ල මහා රෝහලේ තැන්පත් කර තිබෙනවා.
2024 ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරඟාවලිය අප්‍රේල් 21වනදා පෙරවරුවේ දියතලාව නරියාකන්ද ධාවන පථයේ දී ආරම්භ වූ අතර එහිදී සිදුවු මාරක අනතුරින් 7 දෙනෙකුට දිවි අහිමිවුණා.
එහිදී ධාවන තරඟයේ සහායකවරුන් සිව්දෙනෙකුට දිවි අහිමි වූ අතර, සෙසු සියලුදෙනා තරඟය නැරඹීම සඳහා පැමිණ සිටි අයයි.
8 හැවිරිදි වැලිමඩ පදිංචිව සිටි ශිව කුමාර් දිනුෂිකා, 55 හැවිරිදි වැලිමඩ පදිංචිව සිටි මුත්තුසාමි උදයකුමාර්, සීදුවේ පදිංචිව සිටි 19 හැවිරිදි චමත් නිරෝෂන්, අරුණ ශාන්ත උපාලිගමගේ නැමති 62 හැවිරිදි මාතර පදිංචිව සිටි අයෙක්, 20 හැවිරිදි අකුරැස්සේ පදිංචි අසේන් හීනටිගල, රසික අබේනායක සහ 60 හැවිරිදි මාතර පදිංචිව සිටි ගනේෂ් ජයවර්ධන අයට මෙහිදී දිවි අහිමි වුණා.
මෙම තරඟාවලිය මෙවර පැවැත්වුණේ වසර 5කට පසුවයි.
අවසන් වරට 2019 වර්ෂයේ අප්‍රේල් 21 වන දින මෙම ධාවන තරඟාවලිය පවත්වා ඇති අතර පාස්කු ප්‍රහාරය හේතුවෙන් එම තරඟය අතරමග නතර කිරීමට සිදුවුණා.
ඒ අනුව වසර 5ක කාලයක් එම තරගාවලිය නොපැවැත්වුණු අතර මෙවර එම තරඟාවලිය සඳහා විශාල ජන සහභාගීත්වයක් ද පැවැති බවට වාර්තා වුණා.
කෙසේවෙතත් අනතුරින් බරපතළ තුවාල ලබා බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දැරිය මෙලෙස ඊයේ රාත්‍රීයේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.