දේශීය

කෙහෙළිය​ගේ බාල ඖෂධ නිසා ඇස් පෙනීම අහිමිවූ රෝගියෙ​ක් වන්දි ඉල්ල​ලා

අක්‍ෂි ශල්‍යකර්මයක් සඳහා මහනුවර මහ රෝහලේදී භාවිත කළ “ප්‍රෙඩ්නිසොලෝන් ඇසිටේට්” නමැති දියර ඖෂධය භාවිත කිරීමෙන් අනතුරුව දෑස් සම්පූර්ණයෙන්ම අන්ධවූ රෝගියෙක් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු 9 දෙනෙකුගෙන්  වන්දියක් ඉල්ලා එන්තරවාසි යවා තිබෙනවා.

“ඉන්වික්ටස් ලෝ” නීතිඥ සමාගමේ කන්දපොල කොන්දකොඩියවත්ත ප්‍රදේශයේ පදිංචි මැකරි රාජරත්නම් මහතා වෙනුවෙන් එම එන්තර වාසි යවා තිබෙනවා.

මෙලෙ​ස එන්තරවාසි යවා ඇත්තේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහ​තා, ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, මහාචාර්ය එස්. ඩී. ජයරත්න, වෛද්‍ය විජිත් ගුණසේකර, වෛද්‍ය අසේල ගුණවර්ධන, වෛද්‍ය රොහාන් එදිරිසිංහ, වෛද්‍ය මහේන්ද්‍ර සෙනවිරත්න සහ එකී දියර ඖෂධය සැපයූ සමාගමටයි.

එම එන්තරවාසියෙන් දැනුම්දී ඇත්තේ, තම ඇස්වලට සිදුවූ හානිය සහ ජීවිතයට ඇති වියහැකි තර්ජනය හේතුවෙන් රුපියල් මිලියන 100ක වන්දියක් ගෙවන ලෙස ස​හ අදාළ වන්දි මුදල නොගෙවන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

ඉදිරි දින 14 ඇතුළත සිය සේවාදායකයා ඉල්ලා සිටින වන්දිය ගෙවීමට අපොහොසත් වුවහොත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට හා ඊට එරෙහිව සියලුම නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවද එම එන්තර වාසි මගින් දන්වා තිබෙනවා.

විශේෂඥ ශල්‍ය වෛද්‍ය රෝහණ එදිරිසිංහ මහතාගේ උපදෙස් පරිදි ඔහු 2023. අප්‍රේල් ම​ස 5 වැනිදා නුවරඑළිය මහ රෝහලට ඇතුළත්වී ඇති අතර එහිදී එකී දියර ඖෂධය දෑස්වලට දැමීමෙන් පසුව විවිධ අතුරු ආබාධ ඇතිවූ බවත්, මාසයක කාලයක් ගතවීමටත් පෙර සිය දෑස් සම්පූර්ණයෙන්ම අන්ධභාවයට පත්වූ බවත් එම එන්තර වාසි මගින් එම පුද්ගලයා දන්වා තිබෙනවා.

2023 වසරේ අප්‍රේල් – මැයි මාසවලදී ඉහත කී ඖෂධය භාවිතයෙන් පසු රෝගීන්ට සංකූලතා ඇතිවීමේ සිද්ධි කිහිපයක්ම වාර්තා ව තිබුණු අතර අදාළ ඖෂධ කාණ්ඩය රජයේ රෝහල්වලින් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබුණා. පසුව කරන ලද පරීක්ෂණවලින් අනාවරණයවී තිබුණේ එම ඖෂධ තොගය ප්‍රමිතියෙන් තොර බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button