දේශීය

ශ්‍රී ලන්කන් එකට මාස 6ක් කල් දීලා

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ මෙහෙයුම් සහ මූල්‍ය ප්‍රගතිය ඉදිරි මාස 06ක කාලය තුළදී පෙන්විය යුතු බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් එහි පාලනාධිකාරියට සහ වෘත්තීය සමිති වෙත දැනුම්දී තිබෙනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (11) පෙරවරුවේ වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදීයි.

එසේ නොවුණහොත් 6000ක පමණ සේවකයින්ගේ රැකියාවල අස්ථාවරභාවයක් ඇතිවන බවද අමාත්‍යවරයා පෙන්වාදී තිබෙනවා.

ජනාධිපතිවරයාගේ යෝජනාවකට අනුව ශ්‍රීලන්කන් ගුවන් සේවය බැංකු සහ ආයතන කිහිපයකට ගෙවීමට තිබූ අමෙරිකානු ඩොලර් බිලියන 1.2ක පමණ ණය ප්‍රමාණයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 510ක් පමණ රජය විසින් ගෙවා දැමීමට තීරණය කර ඇති බවද සඳහන්.

ඒ අනුව ආකර්ෂණීය මූල්‍ය ශේෂ පත්‍රයක් සමග ශ්‍රීලන්කන් ගුවන් සමාගම ඉදිරි මාස 06 තුළ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා.

එබැවින් එම මාස 06 තුළ ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ අනවශ්‍ය වියදම් කපා හැර මනා මූල්‍ය විනයක් සමාගම තුළ ඇති කරගත යුතු බවත් ඒ සඳහා පරිපාලනය සහ වෘත්තීය සමිති ඒකාබද්ධව කටයුතු කළයුතු බවත් අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නා.

මෙහිදී සමාගමේ බලධාරීන් පෙන්වාදෙන්නේ, මේ වනවිට ගුවන් යානා 16ක් මෙහෙයුම් සඳහා යොදවා ඇති අතර එම යානා භාවිත කර දිගු ගමනාන්ත 06ක් සහ කෙටි ගමනාන්ත 29ක ගුවන් මෙහෙයුම් සිදුකරන බවයි.

මෙම මෙහෙයුම් කටයුතු සඳහා කල්බදු පදනම මත බෙල්ජියම් ගුවන් යානා 03ක් සහ Fit Air යානයක් සමාගම වෙත ලබාගෙන ඇති බවත් බලධාරීන් පවසනවා.

පසුගිය කාල පරිච්ඡේදයේ විටින් විට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම්වල  ඇතිවූ ප්‍රමාදයන් නිසා ගුවන් මගීන්ට සිදුවූ හිරිහැර සහ බාධාවන් හේතුවෙන් ගුවන් සමාගම විශාල ලෙස දෝෂ දර්ෂණයට සහ විවේචනයන්ට ලක්ව ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button