ඉවත් කළ ගුවන් යානාවලට ශ්‍රී ලන්කන් එකෙන් රුපියල් බිලියන 05ක්

විවිධ කාර්මික දෝෂවලට ලක්ව පියාසර කටයුතුවලින් ඉවත් කර තිබූ ගුවන් යානා 08ක් සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය වසර දෙකක් පුරාවට රුපියල් මිලියන 5,646.76ක බදු කුලී මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වෙනවා.
එම වාර්තාවේ දැක්වෙන්නේ, ශ්‍රී ලංකන් ගුවන් මෙහෙයුම් සඳහා ගුවන් යානා 27ක් අවශ්‍යව තිබුණද ඔවුන් සතුව ඇත්තේ, යානා 24ක් පමණක් බවයි.
ජාතික විගණන කාර්යාලය මේ බව සඳහන් කළේ, 2022-2023 වර්ෂයන් සඳහා අදාළ මුල්‍ය ප්‍රකාශයන් නිකුත් කරමින්.
එම ගුවන්යානා 24න්ද ගුවන් යානා 08ක් පසුගිය වසරේ අප්‍රේල් මස 20 වනදා දක්වා කාර්මික දෝෂ හේතුවෙන් භාවිතයෙන් ඉවත් කර තිබූ බව සිය විගණනය මගින් ජාතික විගණන කාර්යාලය පෙන්වාදි තිබෙනවා.
ඒ අනුව එම ගුවන්යානා 08 සඳහා 2021 වසරේ සිට 2023 අප්‍රේල් මස 20 වනදා දක්වා වසර දෙකක ආසන්න කාලය තුළ මෙලෙස බදු කුලී ගෙවා ඇති බවයි සඳහන්වන්නේ.
එම අගය ආසන්න වශයෙන් රුපියල් බිලියන 05කට ආසන්නවනවා.
පසුගිය කාලයේ ගෝලීය වශයෙන් එම යානාවල එන්ජින්හි ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන්සේවය විසින් ලබාගනු ලැබූ නියෝ (NEO) වර්ගයේ ගුවන්යානා මෙලෙස ගුවන් මෙහෙයුම්වලින් ඉවත්කිරීමට සිදු වුණා.
කෙසේවෙතත් එම එන්ජින් අලුත්වැඩියා කරන තුරු අමතර එන්ජින් ලබාදීමට නිෂ්පාදක ගුවන් සමාගම සමඟ එකඟත්වයට පැමිණ ඇති බවද ශ්‍රී ලන්කන් ගුවන් සමාගම එහිදී පෙන්වාදී තිබෙනවා.
මේ වන විට ශ්‍රී ලන්කන් ගුවන්සේවය සතුව නියෝ කාණ්ඩයට අයත් ගුවන්යානා 6ක් පවතින අතර, එහි A320 නියෝ වර්ගයේ ගුවන් යානා 2ක් සහ A321 නියෝ වර්ගයේ ගුවන් යානා 4ක් පවතිනවා.
එම යානා අතුරින් A320NEO කාණ්ඩය අයත් (4R-ANA) ගුවන්යානය සහ A321NEO කාණ්ඩය අයත් (4R-ANE) ගුවන්යානය මේ වන විට ගුවන් මෙහෙයුම් සඳහා එක්ව තිබෙන බවද සඳහන්වනවා.